brand logo
logo
කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය නොවැම්බර් 3 දා විවාදයට

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය නොවැම්බර් 3 දා විවාදයට

27 October 2026


විපක්ෂය විසින් භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව නොවැම්බර් 3 වැනි අඟහරුවාදා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.


පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීමේදී කථානායකවරයා පක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාකලාපයක් අනුගමනය කර ඇති බවට චෝදනා කරමින්, ඔහු එම ධුරයට නුසුදුසු බව පවසමින් විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.


අදාළ විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පසුගිය ඔක්තෝබර් 9 වැනිදා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාරදුන්නේය.


කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් පදනම් කරගනිමින් සකස් කර ඇති එම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් තබා ඇති බව සඳහන් වේ.


මේ අතර පාර්ලිමේන්තුව නොවැම්බර් 3 වැනිදා සිට 6 වැනිදා දක්වා රැස්වීමට නියමිත අතර, එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර ඇත්තේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.


ඒ අනුව, නොවැම්බර් 3 වැනිදා විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර, නොවැම්බර් 4 වැනි බදාදා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2508/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති රෙගුලාසි සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය.


නොවැම්බර් 5 වැනි බ්‍රහස්පතින්දා සභාව කල් තැබීමේ යෝජනාවක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට නියමිත අතර, නොවැම්බර් 6 වැනි සිකුරාදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට ද තීරණය කර තිබේ.

 

More News..