brand logo
logo
වසර 160 ක පොලිස් ඉතිහාසය වෙනස් කළ නිර්මලාගේ පිම්ම

වසර 160 ක පොලිස් ඉතිහාසය වෙනස් කළ නිර්මලාගේ පිම්ම

06 September 2026 | අනීෂා මානගේ

දිනය ඉකුත් තුන් වැනිදා ය. ස්ථානය බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණය ය. එදින මෙතැන සුවිශේෂී උත්සවයක් පැවැත්වෙමින් තිබුණේය. ඒ ශ්‍රී ලංකා පොලිසියේ එකසිය හැට වැනි උපන්දින සැමරුමය. මේ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායකද සහභාගී වී සිටියේය. එදා එතැනට පැමිණ සියල්ලන්ටම ගුවන දෙස බලන්නැයි නිවේදනය කෙරුණේය. එවිට දිස්වූයේ ළා කොළ සහ කහ පැහැයෙන් වර්ණවත් වූ පැරෂුට් කිහිපයක් පොළව කරා ළඟා වෙන අයුරුය. මොහොතකින් සියල්ලන්ගේම අත්පොළසන් හඩ තීව්‍ර විය. ඒත් සමගම ඇය පොළොවට පතිත වූවාය.


ඇගේ පැමිණීමත් සමග ශ්‍රී ලංකා පොලිස් ඉතිහාස පොතේ අලුත් පිටුවක් ලියැවුණේය. ඒ පොලිසියේ වසර එකසිය හැටක ඉතිහාසයේ පළමුවැනි වරට නිලධාරිනියක් පැරෂුට් සන්දර්ශනයකට සහභාගී වෙමිනි. මේ වාර්තාවට හිමිකාරිනිය වූයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ කාන්තා පොලිස් කොස්තාපල් නිර්මලා කුමුදුනි සේනානායක ය.


මෙවර පොලිස් දිනය වෙනුවෙන් ගුවනේ පාවෙන්නට දක්ෂයෝ හත් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය නියෝජනය කරමින් සහභාගි වූහ. පොලිස් පරීක්ෂක ජනිත් කුමාරගේ නායකත්වයෙන් යුතු මේ කණ්ඩායමේ උන් වළලු දැමූ එකම දෑත් හිමිකාරිය නිර්මලා පමණය. සහෝදර සෙසු නිලධාරි පිරිස සමගින් නිර්මලා එදා අඩි හයදහසක් ගුවන්තලයේ සිට යෝධ පිම්මක් පැන්නේ බලා සිටි සියල්ලන්ගේම හදවත වේගයෙන් ගැහෙද්දීය. ඇගේ පිම්ම බලා උන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ආරාධිතයන් පිරිස අසුනෙන් නැගිට අත්පොළසන් දුන්හ.


ශ්‍රී ලංකා පොලිසියට පොලිස් විශේෂ කාර්ය බළකායේ නමින් අලුත් පිටුවක් ලියූ කාන්තා පොලිස් කොස්තාපල් නිර්මලා සේනානායක කුරුණෑගල, දොඹගොල්ල රිදීගම පදිංචිකාරිනියක් ය. දොඹගොල්ල ගෝනිගොඩ මහා විද්‍යාලයෙන් අකුරු කළ ඈ දරුවන් සිවු දෙනකුගෙන් යුතු පවුලේ බාලයාය. පැටි වියේ සිටම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමට ආසා කළ ඈ උසස්පෙළ අවසන් වූ සැණින් සිය පැටි වියේ සිහිනය මුදුන්පත් කරගත්තාය. දෙදහස් දහය වසරේදී කාන්තා පොලිස් කොස්තාපල්වරියක ලෙස පොලිස් විශේෂ කාර්යය බළකායට එක්වූ නිර්මලා සිය අධ්‍යාපන කටයුතු ද අත්නොහැරියාය.


කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළ නිර්මලා සමාජ විද්‍යාව පශ්චාත් උපාධියද සම්පූර්ණ කළාය. පොලිස් විශේෂ කාර්ය බළකාය සිය ඉතිහාසයේ පළමුවැනි වරට පැරෂුට් නිලධාරිනියන් බඳවා ගනිද්දි එයට ඉල්ලුම් කරන්නට නිර්මලාට වුවමනා විය. ඒ 2016 වසරේදීය. තෝරා ගැනීමේ විභාගයෙන් ඉහළින්ම සමත් වූ නිර්මලා එතැන් පටන් ගුවනේ විස්කම් පෙන්වන්නට මග පාදා ගත්තාය.


ඒ වෙනුවෙන් ඈ අඩිතාලම් දැම්මේ අම්පාර උහන පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව හදාරමිනි. ගුවන් හමුදාවේද නිර්මලා මෙන් දක්ෂ පැරෂුට් පනින්නියෝ සිටින්නෝය. මෙරට ඉතිහාසයේ පළමුවැනි වරට ගුවන ජයගත් කතුන් ගුවන් හමුදාවේ පැරෂුට් පනින්නියන්ය. ඒ කටුනායකදීය.


කෙසේ නමුදු නිර්මලාගේ දස්කම් නිසාම තවත් සුවිශේෂී අවස්ථාවක් ඈට උදාවිය. ඒ අඩි දහස් ගණන් ගුවනේ සිට යෝධ පිමි පනින්නට පුහුණුවෙන නිදහස් ආර පැරෂුට් පාඨමාලාව හැදෑරීමය. බොහෝ විට නිලධාරින්ට පමණක් පුහුණු වෙන්නට වරම් ලැබෙන මේ පාඨමාලාවද සාර්ථකව අවසන් කළ නිර්මලා මේ වන විට පැරෂුට් පැනීම් වාර අසූහයක් සම්පූර්ණ කර සිටින්නීය.


එනමුත් ඈට මින් පෙර පැවැති උත්සවයකදී පැරෂුට් පිම්මක් පැන දස්කම් දක්වන්නට අවස්ථාවක් හිමි වූයේ නැත. නිදහස් දින සැමරුමේදී පැරෂුට් පනින්නට සැදී පැහැදී උන්නද ඒ අවස්ථාව ලැබුණේ නැත. ඊට හේතු වුණේ ඈ පැනුම් වාර සියය සම්පූර්ණ කර නොමැති වීමය. වසර ගණනාවක් පුල පුලා බලා සිටි අවස්ථාව මෙවර ඇයට ලැබුණි. ඒ සේනාධිනායක ජනාධිපතිවරයා සේම පොලිස්පතිවරයාද සහභාගී වූ සිය දෙපාර්තමේන්තුව සැමරූ උත්සවයේදීය. එසේ බලනවිට ඇය ඉකුත් 3 වැනිදා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන පිටියට පැන්නේ හොඳම පිම්මය.

 

More News..