brand logo
logo
22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

01 September 2026



රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.


නියෝගය ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදුකරන බවය.


මෙම පෙත්සම් අද (01) විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා මෙම ඉල්ලීම කළේය.


ඒ අනුව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය සිටින සියලු විනිසුරුවරු අසුන් ගෙන මෙම පෙත්සම් විමසීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


ඊට අමතරව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලී සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු විසින් මෙම ඉල්ලීම සිදුකළේය.


නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ බලය අගවිනිසුරුවරයා සතු බව පෙන්වා දුන්නේය.


ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඩුල්ලක විනිසුරුවරු සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතු වන පෙන්වා දුන් සොලිසිටර් ජෙනරාල්වරයා මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් පාර්ශ්වයකට හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.


අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ඇතුළු නීතිඥවරු විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිසුරු මඩුල්ලක සංයුතිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතුවන බව පෙන්වා දුන්නේය.


ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය. 

 

More News..