brand logo
logo
'බඩෝවිට අසංක - කොස් මල්ලි' පාර්ශ්වයේ දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවක

'බඩෝවිට අසංක - කොස් මල්ලි' පාර්ශ්වයේ දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවක

24 September 2026


බඩෝවිට අසංක පාර්ශවයේ සැකකරුවකු වන කරුණාලුගේ ශ්‍රීනාත් ප්‍රියශාන්ත ප්‍රනාන්දු හා කොස්මල්ලි පාර්ශවයේ සැකකරුවෙකු වන මධුෂ්ක රේණුක ප්‍රනාන්දු අතර ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී අද (24) පස්වරුවේ ගුටි බැට හුවමාරුවක් සිදුව තිබේ.


බඩෝවිට අසංක පාර්ශවයේ අයෙකු වන ශ්‍රීනාත්, 2025 වසරේ නොවැම්බර් මාසයේදී ගල්කිස්ස සිරිපාල පාරේදී පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කර ඇත.


කොස් මල්ලි පාර්ශවයේ අයෙකු වන මදුෂ්ක, පසුගියදා දෙහිවල සිරිසගබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මනුෂය ඝාතන දෙකක් සිදු කිරීමේ චෝදනාව එල්ල වූ තැනැත්තාය.


අදාළ චෝදනාවන්ට අදාළ අධිකරණ කටයුතු සඳහා ඔවුන් දෙදෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් සිටියදී මෙය සිදුව ඇති බව කරුණු සොයා බැලීමේදී හෙළි වී ඇත.


එහිදී බඩෝවිට අසංකගේ පාර්ශවකරුවකු වන ශ්‍රීනාත්, විත්තිකූඩුවේ රදවා සිටින අවස්තාවේ කොස් මල්ලි පාර්ශවයේ මධුෂ්ක යන අය ඒ ආසන්නයේ ඇති රැදවියන් හිදුවා සිටින බංකුවේ ඊළඟ නඩුව සඳහා රැගෙන විත් තිබේ.


එහිදී ශ්‍රීනාත් යන අය විසින් එකවර විත්ති කූඩුවෙන් බැස, මධුෂ්කට ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් හා පොලිස් නිලධාරින් එක්ව ගැටුම සමතයකට පත් කර ඇත.


එහිදී කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර, මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


ඒ අනුව අදාළ සැකකරුවන් වෙන් වෙන්ව බන්ධනාගාරයේ තබන ලෙසට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනිය මහත්මිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

 

 

More News..