මව්බිමට පෙම් කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ
23 April 2025
මව්බිමට පෙම් කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ
23 April 2025
අසූ අට වැනි වියේ පසු වූ පාප් වහන්සේ ස්වර්ගස්ථවීම කිතුනු නොකිතුනු දනන්ගේ ඉමහත් සොවට හේතු වී තිබේ. 2013 වසරේදී හැත්තෑ වැනි වියේදී පාප් පදවියට උන්වහන්සේ පත් වූයේ බෙනඩික්ට් පාප් වහන්සේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය. සිරියාවේ උපන් තෙවැනි ග්‍රෙගරි පාප් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 741 වර්ෂයේදී මිය ගිය පසු පාප් පදවියට පත් යුරෝපීය නොවන රදගුරුවරයා ෆ්‍රැන්සිස් පාප් වහන්සේය. ලතින් ඇමරිකානු කලාපයේ ආර්ජන්ටිනාවේ උපත ලද පාප් වහන්සේ පාප් පදවියට පත් පළමු ජේසු නිකායික පියතුමාද වෙති. ආර්ජන්ටිනාවේදී උන්වහන්සේ එරට මිලිටරි ආඥාදායකත්වයට එරෙහිව හඬ නැගූ කණ්ඩායම් සමග සමීපව කටයුතු කළහ. ජේසු නිකායික පූජකයකු සේ දර්ශන වාදය, සාහිත්‍යය සහ මනෝ විද්‍යාව හැදෑරූ එතුමෝ එමගින් පෝෂිත පුළුල් දෘෂ්ටියකින් සමාජය දෙස බැලීමට හුරු වූහ. දෙටු පූජකයකු ලෙස ලබාගත හැකි වරප්‍රසාද බැහැර කරමින් සරල ජීවිතයක් ගත කිරීමට පාප්තුමාණෝ නිතරම යොමු වූහ. ගුවන් ගමන්වලදී සාමාන්‍ය පන්තියේ ගමන් කළහ. නිල වශයෙන් තම පදවියට හිමි රතුස් සහ දම් පැහැති ලෝගුව වෙනුවට පූජකයකුගේ කළු ලෝගුව ඇඳීමට කැමැත්තක් දැක්වූහ. සිය දෙසුම්වලදී සැමට සාධාරණ ලෙස සලකන්නැයි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියෝය. දුප්පත්ම ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කිරීමට අපොහොසත් පාලන තන්ත්‍රයන් පාප්තුමාගේ විවේචනයට ලක් විය. වරක් එතුමෝ මෙසේ අවධාරණය කළහ.
"අප ජීවත් වන්නේ ලෝකයේ වඩාත්ම අසමානකම් තියෙන කොටසේ. උපරිමයෙන් සංවර්ධනය වෙලා තියෙනවා. නමුත් දුප්පත්කම අඩු වෙලා නැති තරම්."
ලෝක සාමය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කළ එතුමෝ 2014 වර්ෂයේදී ඊශ්‍රායල සහ පලස්තීන නායකයන් එක් තැනකට කැඳවා සාමය සඳහා යැදීමට යොමු කරගත්හ. රෝමානු කතෝලික ආගම නොපිළිගත් ඇන්ග්ලිකානු, ලූතර්වාදී ඇතුළු ක්‍රිස්තියානි සම්ප්‍රදායන්ටද තමන් සමග එකට කටයුතු කිරීමට පාප්තුමා ඇරයුම් කළේය. ඉස්ලාමය සහ කතෝලික ආගමික ගැටුම් දෙස නව්‍ය දෘෂ්ටිකෝණයකින් බැලීමට ඔහු යොමු විය. වරක් මෙසේ සඳහන් කළේ එනිසාමය.
"මම ඉස්ලාමීය ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනවානම් මට කතෝලික ප්‍රචණ්ඩත්වය ගැන කතා කරන්නත් වෙනවා"
මෙය ඉතාම බැරෑරුම් ප්‍රකාශයක් විය.
ජාත්‍යන්තර පුරවැසියකු ලෙස කටයුතු කළ ද පාප් වහන්සේ තමන්ගේ මව්බිම පිළිබඳ භක්තියකින් කටයුතු කිරීම මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතු කරුණකි. ෆෝක්ලන්ඩ් දූපත් පිළිබඳ ගැටලුවේදී එතුමන් අවධාරණය කළේ ඒවායේ හිමිකාරීත්වය තිබෙන්නේ ආර්ජන්ටිනාවට බවය. දේව මෙහෙයකදී එතුමෝ මෙසේද සඳහන් කළහ.
"අප ඇවිල්ලා ඉන්නේ ඔවුන්ගේ රට ඔවුන්ට හිමි කරගන්න. තම මව්බිම ආරක්ෂා කරගන්න ගිහින් දිවි පිදූ මව්බිමේ පුත්‍රයන් වෙනුවෙන් යදින්න!"
එක්සත් ජනපද ආණ්ඩුව සහ කියුබාව අතර සහයෝගීතාව ඇතිකර ගැනීමේ කාර්යයේදීද පාප්තුමෝ තීරණාත්මක මැදිහත්වීමක් කළහ. 2015 වසරේදී උන්වහන්සේ හවානා නුවර සංචාරය කළ අතර කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝද හමුවූහ. එක්තරා ආකාරයකින් පෙරළිකාර භූමිකාවක් සේම තවත් පැත්තකින් සම්ප්‍රදායවාදී භූමිකාවක්ද පාප්තුමන්ගේ චරිතය තුළින් දැකිය හැකිය. විශේෂයෙන් අනායාස මරණය, මරණ දඬුවම, ගබ්සාව, ජීවත්වීමේ අයිතිය, මානව හිමිකම් සහ පූජකයන්ගේ බ්‍රහ්මචර්යාව වැනි කරුණුවලදී එතුමෝ සාම්ප්‍රදායික කතෝලික සභාවේ ස්ථාවරය අවධාරණය කළහ. දේව සභාව මිනිසුන්ගේ ලිංගික දිශානතිය නොතකා ඔවුන් ආදරයෙන් පිළිගත යුතු බව අවධාරණය කළද සමලිංගික ජෝඩු දරුවන් දරුකමට හදා වඩා ගැනීම ඔවුන්ට වෙනස් කොට සැලකීමේ එක්තරා ආකාරයක් බව අවධාරණය කළහ. සමලිංගික විවාහ දෙවියන් වහන්සේගේ සැලැස්ම විනාශ කිරීමේ ප්‍රයත්නයක් ලෙසද එතුමෝ සඳහන් කළහ. ගබ්සාවට දැඩිව එරෙහි වූ එතුමෝ වරක් රෝමයේ ගබ්සාවට එරෙහිව පැවැත් වූ පාගමනකටද සහභාගී වූහ. එම පා ගමන සංවිධානය කර තිබුණේ පිළිසිඳ ගත් මොහොතේ සිට නූපන් දරුවන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීම යන තේමාව අනුවය. ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගෙන් වරක් ඉල්ලා සිටියේ තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කරන ලෙසය. එසේම කාන්තාවන් පූජකත්වයට පැමිණවීමට ද එරෙහි ස්ථාවරයක පාප්තුමෝ සිටියහ.
වතිකානයේ පූජකයන්ගේ අවකල් ක්‍රියාවන් පිළිබඳ එල්ල වූ විවේචනවලටද පාප්තුමෝ ප්‍රතිචාර දැක්වූහ. සමහර විවේචකයන් සඳහන් කරන්නේ උන්වහන්සේ ඒ පිළිබඳව මුනිවත රැකි බවය. විශේෂයෙන් 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදී එක්සත් ජනපදයේ හිටපු වතිකාන රාජ්‍යතාන්ත්‍රිකයකු වන අගරදගුරු කාලෝ මරියා විගානෝ පිටු එකොළහකින් යුක්ත ලියවිල්ලකින් හිටපු කාදිනල්වරයකු වූ තෝමස් මැක්කැරික්ගේ අවකල් ක්‍රියාවන් පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කළ ද පාප්තුමා චෝදනාවට ලක් වූ අගරදගුරු විශ්වාසවන්ත සභිකයකු ලෙස පත් කළ බවට චෝදනාවක් එල්ල විය. තෝමස් මැක්කැරික්ට එරෙහි අපයෝජන චෝදනා දිගින් දිගටම එල්ලවන අතර පාප්තුමෝ ඒ පිළිබඳ මෙසේ සඳහන් කළහ.
"මේ සමලිංගික ජාල රහසිගතව සැඟවිලා බූවල්ලකුගේ අඬු වගේ තමයි ක්‍රියාත්මක වන්නේ. මුළු පල්ලියම වෙළාගෙන."
එමගින් පෙනෙන්නේ ජාලගත අවකල් ක්‍රියාවන් පාලනය කිරීමට උන්වහන්සේ ද අපොහොසත් වූ බවය.
සරල බව නිරන්තරයෙන් අගය කළ පාප් වහන්සේගේ දේහය උන්වහන්සේගේ ඉල්ලීම පරිදි අප්‍රේල් 26 වැනි සෙනසුරාදා රෝමයේ ශාන්ත මේරි බැසිලිකාවෙ එතුමන්ගේ ප්‍රියතම මැඩෝනා සිතුවම අසල මිහිදන් කෙරෙනු ඇත. සියවසකට අධික කාලයක් තිස්සේ ස්වර්ගස්ථ පාප් වහන්සේලාගේ දේහයන් තැන්පත් කළේ වතිකානයේ සාන්ත පීතර සොහොන් ගර්භයේය. එහෙත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එම මහේශාක්‍ය මගින් බැහැරව තමන්ගේ අවසන් කටයුතු කිරීමට ඉල්ලීමක් කර තිබේ. උන්වහන්සේ වරක් අවධාරණය කළේ ලෝකයත් එක්ක ගනුදෙනු කරන, පාරට බැහැලා මිනිසුන් වෙත ළඟාවෙන පල්ලියක් තිබෙනවා නම් තමන් පළමුවෙන්ම ඒ පල්ලිය තෝරා ගන්නා බවය. ඒ මග පල්ලියට පමණක් නොව සියලු ආගමික මධ්‍යස්ථානවලට යෝග්‍ය නොවේද? පාප්තුමන්ට ස්වර්ගයම හිමිවේවා!