brand logo
logo
 තෙල් සහ ගෑස් සැපයුම් සහයෝගීතාව වර්ධනය කිරීමට අසර්බයිජානය අතර සාකච්ඡාවක්

තෙල් සහ ගෑස් සැපයුම් සහයෝගීතාව වර්ධනය කිරීමට අසර්බයිජානය අතර සාකච්ඡාවක්

15 October 2026


විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අසර්බයිජාන් ජනාධිපති අතිගරු ඉල්හාම් අලියෙව් අතර හමුවක් පවත්වා තිබේ.


එහිදී දෙරට අතර වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ බලශක්ති ක්ෂේත්‍රය යන අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.


විශේෂයෙන්ම තෙල් සහ ගෑස් සැපයුම සම්බන්ධයෙන් සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.


ආසියාවේ අන්තර්ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ 7 වැනි සමුළුවට සමගාමීව මෙම හමුවීම සිදුව ඇත.


මෙම සමුළුව ඔක්තෝබර් මස 14 සහ 15 යන දෙදින අසර්බයිජානයේ බාකු නුවර පැවැත්වෙයි. 


මෙවර එය පැවැත්වෙන්නේ, “ශක්තිමත් CICA සංසදයක්: ආසියානු කලාපයේ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ තිරසාර වර්ධනය" යන තේමාව යටතේය.


මෙම සමුළුවේදී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය කළේය.


මෙම සංචාරය අතරතුරදී අමාත්‍යවරයා CICA සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


ඒ අතර කසකස්තානය, උස්බෙකිස්තානය සහ තජිකිස්තානය යන රටවල නියෝජිතයන් ද ඇතුළත් වේ.


එමෙන්ම සත්කාරක රට වන අසර්බයිජානයේ නියෝජිතයන් සහ CICA මහලේකම්වරයා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


මෙම සංචාරය තුළින් ආසියානු කලාපයේ රටවල් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීමටත් අවස්ථාව සැලසේ.


විශේෂයෙන්ම වේගයෙන් වර්ධනය වන මධ්‍යම ආසියානු ආර්ථිකයන් සමඟ නව ආර්ථික සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීමට ද මෙය වැදගත් අවස්ථාවකි.


CICA යනු ආසියානු කලාපය තුළ සහයෝගීතාව වර්ධනය කිරීමත්, සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගත් ආසියාවේ විශාලතම කලාපීය අන්තර් රාජ්‍ය සංසදයයි.

 

More News..