නිර්දේශ මගහරින නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් රතු එළියක්
14 July 2025
නිර්දේශ මගහරින නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් රතු එළියක්
14 July 2025
තමන් විසින් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් ඊට එරෙහිව අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එලෙස ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිලධාරීන් හා ආයතන වගකීමට යටත් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට ලිඛිතව දන්වා තිබේ.
කොමිෂන් සභා පනත අනුව දෙනු ලබන නිර්දේශ සඳහා අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් නොමැති බැවින් අභියාචනා යොමු කරමින් නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට නීතිමය හැකියාවක් නොමැති බව සියලු පාර්ශ්වයන් දැනුවත් විය යුතු බවත් එමගින් අවධාරණය කර ඇත.
මේ බව අවධාරණය කර ඇත්තේ කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විමසීම් කිරීමේ දී අභියාචනයක් ඉදිරිපත් කිරීම මත නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බව නිරීක්ෂණය වීම නිසා ය.
මෙම දැනුම් දීම් සම්බන්ධයෙන් ආයතන හා නිලධාරීන් අභ්‍යන්තර චක්‍රලේඛ මගින් ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගෙන එම පියවරයන් කොමිෂන් සභාවට ලිඛිතව දන්වන ලෙසත් එම ලිපියේ සඳහන් කර ඇත.
මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 15 (7) වගන්තිය අනුව නිර්දේශයන් බලාත්මක කිරීම පිණිස ගන්නා ලද හෝ ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වාර්තා කරන ලෙස ආයතන ප්‍රධානීන් අදාළ නිලධාරීන්ට නියම කරනු ලැබිය යුතු බවත් එහි සඳහන් වෙයි.