'සර්ලා එහෙනම් මාව සොයාගෙන ආවා' සෙව්වන්දි පොලිස් පිරිසට කියයි
15 October 2025 | එෆ්.අස්ලම් / නයෝමි කරුණාසිංහ
'සර්ලා එහෙනම් මාව සොයාගෙන ආවා' සෙව්වන්දි පොලිස් පිරිසට කියයි
15 October 2025 | එෆ්.අස්ලම් / නයෝමි කරුණාසිංහ
මෑත ඉතිහාසයේ දැඩි ආරක්ෂක කලාපයක සිදුවූ බිහිසුණුම අපරාධය වාර්තා වූයේ පසුගිය පෙබරවාරි මාසයේය. ඒ නීතියේ නළඟන අරක්ගෙන සිටින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී සංවිධානාත්මක අපරාධකරුවකුව සිටි සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව විත්ති කූඩුවේ සිටියෙදීම වෙඩි තබා ඝාතනය කිරීමත් සමගය. එම අපරාධය විදෙස්ගතව සැඟව සිට මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන්ගේ මෙහෙයවීම මත සිදුකර තිබිණි. මෙම අපරාධයේ වෙඩික්කරු මෙන්ම ඊට ගෑවී සිටි සැකකරුවන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණත් එම අපරාධයේ මහ මොළකාරියව සිටි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ගැන මාස අටක් යනතුරුම කිසිදු තොරතුරක් නොවීය.
කෙසේ වෙතත් කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව මෙම අපරාධයේ මහ මොළකාරිනිය ලෙස අතුරුදන්ව සිටි ඉෂාරා සෙව්වන්දි ගැන තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. ඒ තොරතුරු ඔස්සේ සිදුකළ රහසිගත විමර්ශනයකට අනුව ඇයව නේපාලයේ කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 18 ක් ඈතින් වූ කඳුකර ප්‍රදේශයක නිවාස සංකීර්ණයකදී පෙරේදා (13 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබිණි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමට යොදවා සිටියේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත පොලිස් නිලධාරියකි. ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව මෙම මෙහෙයුම දියත් කෙරිණි.
මෙම මෙහෙයුමේදී ඉෂාරා සෙව්වන්දි ඇතුළු හයදෙනකු හසුව ඇති අතර ඒ අතර කාන්තාවකද සිට ඇත.
ඉෂාරා සෙව්වන්දි සැඟව සිටි මෙම නිවස නේපාලයේ අධික ශීත කාලගුණයක් ඇති කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති බවත් මොවුන් සැඟව සිටි නිවස කන්දක් උඩ පිහිටි ඉහළම මාලයේ නිවසක් බවත් පොලිසිය පවසයි.
පොලිස් කණ්ඩායම මෙම නිවසට ඇතුළු වූ අවස්ථාවේදී ඉෂාරා සෙව්වන්දි නිවස තුළ සිට ඇති අතර “සර්ලා එහෙනම් මාව හොයාගෙන ආවා. මම දැනගෙන හිටියා කොයි වෙලේ හරි සර්ලා මාව හොයාගෙන එයි කියලා’’ යනුවෙන් පවසා ඇත.
ඉෂාරා සෙව්වන්දි සමගින් සිට ඇති කාන්තාව ඇයගේ රුවට සමාන කාන්තාවක් බව විමර්ශන නිලධාරිහු සඳහන් කරති. ගණේමුල්ලේ සංජීව පෙබරවාරි මාසයේදී ඝාතනයෙන් පසු ඇයව මෙරටින් මුහුදු මගින් රැගෙන ගිය බව කියන යාපනයේ පදිංචි ජේ.කේ බායි නමැති පුද්ගලයාද තවත් පිරිමි පුද්ගලයන් තිදෙනකු ද මෙම නිවසේ සිටියදී අත්අඩංගුවට පත්ව ඇත. ජේ.කේ. නමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයකු බවද ඔහු නීති විරෝධී අන්දමින් මෙරට පුද්ගලයන් මුහුදු මගින් විදෙස් ගතකරවන ජාවාරම්කරුවකු සමග සමීපයෙන් කටයුතු කර ඇති අයකු බවද අනාවරණය වී ඇත.
කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් කල් ඇතිවම ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සැලසුම සූදානම් කර තිබූ බවත් සංජීව ගම්පහ මහාධිකරණයේ නඩු විභාගයකදි ඝාතනය කරලීමට සැලසුම් කළත් එම සැලසුම ගැන පොලිසියට තොරතුරු ලැබී සංජීව අධිකරණයට ඉදිරිපත් නොකිරීමට ගත් පියවර නිසා එම උත්සහාය ව්‍යාර්ථව ගොස් ඇත.
පසුව මෙම සැලසුම සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් පසුගිය පෙබරවාරි 19 වැනිදා උදෑසන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පස්වැනි ශාලවේදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඒ නීතිඥ වෙස්ගත් කොමාන්ඩෝ බළකායෙන් පැනගිය සෙබළකු විසින් කළ වෙඩි තැබීමට අනුවය. අදාළ වෙඩි තැබීමට ගිනි අවිය දණ්ඩ නීති සංග්‍රහයේ පිටු සූක්ෂම ලෙස කපා එතුළ සඟවා ගනිමින් අධිකරණ පරිශ්‍රයට රැගෙන විත් ඇත්තේ ඉෂාරා සෙව්වන්දි බවටද අනාවරණය වී ඇත.
සමිදු නමැති එම කොමාන්ඩෝ සෙබළා මෙම අපරාධයට සම්බන්ධ කරගෙන ඇත්තේ කොමාන්ඩෝ සලින්ත බවද තදින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට සමිදු හා ඉෂාරා සෙව්වන්දි ට සම්බන්ධ කර දී ඇත්තේද ඔවුන් බවත් මේ අනුව ඉෂාරා හා සමිදු අතර සමීප ඇසුරක් ද සිදුව ඇති බවද මෙම අපරාධය සිදුවී පැය කිහිපයක් යාමට මත්තෙන් පුත්තලම පාලවියේදි අත්අඩංගුවට ගත් වෙඩික්කරු වූ කොමාන්ඩෝ සමිදුගේ ප්‍රකාශ මගින් හෙළිවී තිබිණි.
මිනුවන්ගොඩ පදිංචිකාරිනියක වූ ඉෂාරා සෙව්වන්දි මෙම අපරාධයෙන් පසු ආගිය අතක් නොමැති තැනැත්තියක බවට පත්වූ අතර ඇය රටින් පලාගිය බවට ආරක්ෂක අංශ පුන පුනා දැඩිව ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ පමණක් නොව ඇය විදෙස්ගත බවට පුවත්පත් වාර්තාවක් පළකළ මාධ්‍යවේදියකුට එරෙහිව හා පුවත්පත් ආයතනයට එරෙහිවද විමර්ශන ආරම්භ කර තිබිණි. කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනකු ඉන්දුනීසියාවේ ජකාර්තා මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීමෙන් පසු අනාවරණය වූ තොරතුරු මත ඉෂාරා ඩුබායි රාජ්‍යයේ නිරුපද්‍රිතව සිටින බවට කෙහෙල්බද්දර පද්මේ විසින් කළ අනාවරණයත් සමග පොලිසිය දැක්වූ එම මතය හකුළා ගැනීමටද සිදුවිය.
කෙසේ වෙතත් විශේෂ පොලිස් මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි නේපාලයේ ජීවත්ව ඇත්තේ යාපනයේ පදිංචිකරුවකු වන ජේ.කේ. බායි නමැත්තා සමගින් බවද ඔවුන්ට මෙරටින් පලායාමට මෙන්ම සියලුම වියදම් සපයා ඇත්තේද පද්මේ බවද විමර්ශන මගින් අනාවරණය වී ඇත.
පෙබරවාරි 19 වැනිදා සංජීව ඝාතනය කිරීමෙන් පසු ආරක්ෂක අංශ දැඩිව රටපුරා සෝදිසි මෙහෙයුම් සිදුකරමින් ඉෂාරා සෙව්වන්දි සෙව්වද ඇය එම අපරාධයෙන් පසු දින තුනක් මෙරට තුළ සැඟව සිට ඇති බවද ඇය මිද්දෙණිය ප්‍රදේශයෙන් යාපනයට ගොස් මුහුදු මගින් පැනගොස් ඇත්තේද ජේ.කේ නමැත්තා සමගින් බවද විමර්ශන මගින් හෙළිවී ඇත.
මොවුන්ට රටින් පැන යාම සඳහා පමණක් රුපියල් ලක්ෂ හැට පහක් වැයකර ඇති බවත් මේ ආකාරයෙන් ඉන්දියාවට පැන යන මොවුන් දෙදෙනා ඉන්දියාවේ සති තුනක කාලයක් රැඳෙමින් නේපාලයට පැනගොස් ඇතැයිද වාර්තා වේ. මොවුන්ට ඒ ඒ රටවල වාසය කරමින් ජීවත්වීම, වීසා, ගුවන් බලපත්‍ර ඇතුළු වෙනත් කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් කෙහෙල්බද්දර පද්මේ විසින් වැයකර තිබෙන බවද වාර්තා වේ.
නේපාලයේ සිටි මොවුන්ට කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය හා පාතාල ජාලයට සම්බන්ධ බබා නිශාන්ත, සුරේෂ් හා නුගේගොඩ බබී නමැත්තාද සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ. ඒ අතර සිටින බබී නිශාන්ත නමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් හා මෙහෙයවීම මත ගම්පහ ඔස්මන් නමැත්තා ඝාතනය කිරීමට උත්සාහ දැරූ පුද්ගලයා බවද විමර්ශන නිලධාරින් අනාවරවරණය කරගෙන ඇත.
මොවුන් අතර සිටි කාන්තාව ඉෂාරා සෙව්වන්දිගේ රුවට අතිශය සමාන කාන්තාවක් බවද ඇයව භාවිත කර ඇත්තේ සෙව්වන්දිට නේපාලනයෙන්ද පලායාමට අවශ්‍ය ලිපි ලේඛන හා බලපත්‍ර සකස්කර ගැනීමට බවද අනාවරණ වී ඇත.
කෙසේ වෙතත් මෙම සැකකාරියන් දෙදෙනා හා සැකකරුවන් සිව්දෙනා ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇතිව අත්අඩංගුවට ගනු ලැබුවද ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇත්තේ ඉෂාරා සෙව්වන්දිට පමණක් බවද උදර්පන නීතිය යටතේ පහසුවෙන්ම ඇයව මෙරටට රැගෙන ඒමට හැකිව තිබුණත් සෙසු සැකකරුවන් පස්දෙනා මෙරටට ගෙන ඒමට යම් ප්‍රමාදයක් සිදුවනු ඇති බවද පොලිස් ආරංචිමාර්ග කියා සිටියි.
බොහෝදුරට එම අපරාධකරුවන් හෙට දිනයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් දිවයිනට ගෙනඒමට නියමිත බවද වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් සඳහන් කළේ සංවිධානාත්මක අපරාධකරුවන් හා එම අපරාධවලට සම්බන්ධ 40 කට ජාත්‍යන්තර රතු වරෙන්තු ලබාගෙන ඇති බවත් ඉන් 18 දෙනකු මේ වනවිටත් මෙරටට රැගෙන ඒමට හැකිවූ බවත්ය. සංවිධානාත්මක අපරාධකරුවන් පසුපස සිදුකරන මෙහෙයුම් තීව්‍රකර තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

