brand logo
logo
බන්ධනාගාර දොර ළඟින් ඇහෙන කෙඳිරිල්ල

බන්ධනාගාර දොර ළඟින් ඇහෙන කෙඳිරිල්ල

12 July 2026


මේ ආණ්ඩුව හිරේ දොර, නිරයේ දොර සේම ඇර දෙන්නට සමත් ආණ්ඩුවකැයි කීම අපරාධයක් නම් නොවේ. හොරු අල්ලන්නට පටන් ගන්නකොට කෙඳිරිගාන්න එපා යැයි රාජ්‍ය නායකයා කීවේ හිරේ වැටෙන විට හොරාටත් හොරා නොවන එකාටත් එක සේ රිදෙන බව හොඳින් දන්නා නිසාය.


මැයි පළමුවැනිදා කම්කරු ජනතාව ඇමතූ රාජ්‍ය නායකයා මැයි 25 අත්පොළසන් දෙන්න බලාගෙන ඉන්න. එදාට අධිකරණ තීන්දු ලැබෙන්න නියමිත දවසකැයි කීවේය. අධිකරණ තීන්දු ගැන කල් තබා ප්‍රකාශ කිරීම අධිකරණයට කළ බලපෑමකැයි නීති විශාරදයන් පෙන්වා දුන්නද, ඉන් එහා ගිය දෙයක් ඒ කතාවේ තිබිණ. ඒ ජනතාවට අත්පොළසන් දෙන්න කරන ප්‍රධාන ව්‍යාපෘතිය හිරේ දොර ඇරීම බවය. ආණ්ඩුවේ ප්‍රගති වාර්තාවට ලකුණු වැටෙන්නේ පීත්ත පටි කපා මඟුල් බෙර වයා සංවර්ධන ව්‍යාපෘති විවෘත කරන වාරයක් පාසා නොව වධක බෙර වයා හිරේ දොර අරින අරින වාරයක් පාසා යැයි සිතුවාක් සේය. ඒ අනුව හිතන විට අධිකරණ විනිසුරුවන්ගේ ධුර කාලය තවත් වසර දෙකකට කල් දමා ගැනීමට ආණ්ඩුව සිතන්නේ නම් එයට බාධා කළත් කවුරුවත් ඊට පුදුම නම් නොවිය යුතුය. යුක්තිය සහනශීලිත්වය කම්පනය, හිරගෙදර දොර අඩයක් තරම්වත් මේ ආණ්ඩුවට නොවටිනා බව පෙන්වා දෙමින් වැඩ කරගෙන ආවේය.


බලයට ආ අලුතම මේ ආණ්ඩුව රාජ්‍ය සේවකයන් පවා විස්මයට පත් කරමින් කළ අත්අඩංගුවට ගැනීමක් වූයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ආගමික උත්සවයකට සහභාගි වී සිටියදී කුදලාගෙන ඇවිත් අධිකරණයට ඉදිරිපත් කිරීමය. ඒ ඔහු වෙළෙඳ අමාත්‍යාංශයේ සේවය කරන කාලයේ වැය කළ රුපියල් ලක්ෂයක මුදලකට අදාළ කාරණයකටය. ඊළඟට ලංකාවට බාල බෙහෙත් ගෙන්වන කුප්‍රකට ජාවාරම නිසා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාත්, ඔහුගේ සනුහරේ අයත් ආණ්ඩුව පත් වූ අලුතම වරින්වර රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණේය. එයින් ශෝකයට පත් වූයේ ඔවුන්ගේ පවුල්වල අය පමණකි. කෙහෙලිය රඹුක්වැල්ල කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ ලේකම්ද, ටෙන්ඩර් කමිටුවල හිඳගත් වෛද්‍යවරුන්ද, බාල පිළිකා බෙහෙත්ද, අක්ෂි රෝග බෙහෙත්ද මිලදී ගැනීමට මග පෑදූ නිසා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන විට අපරාධයේ තරම නිසා කාටත් කටඋත්තර නැති විය. ජයවර්ධනපුර මහ රෝහලේ සේවය කළ කීර්තිමත් ස්නායු විශේෂඥ වෛද්‍යවරියක් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණේ එම රෝහලේ කෙරෙන ප්‍රතිකාර සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ඉතා ඉහළ මිලකට ඇයගේම ආයතනයෙන් ගැනීමට බෙහෙත් තුණ්ඩු නියම කිරීම නිසාය. මෙසේ ගිනි ගාණට ඖෂධ මිලට ගැනීමට නිර්දේශ කිරීම වෛද්‍යවරුන්ගේ වෘත්තීය ජන්ම උරුමයක් ලෙස සලකා කරගෙන ආවක් වුවත් එයද අපරාධමය වරදක් බව හොරු පන්නන්න ආණ්ඩුවක් ගේන්නට ඡන්දය දුන් වෛද්‍ය වෘත්තිකයන්ට දැන් අවබෝධව ඇත. ළාබාල දියණියකගේ මව වූ වෛද්‍යවරිය බන්ධනාගාරගත කරනු ඉවසිය නොහැකි දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට උසාවි බිමේදීම දෙස් දෙවොල් තැබුවාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගේ බාල වයස්කාර දියණිය දින කීපයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර බන්ධනාගාරගත කිරීමේ ක්‍රියාවලියට වචනයකින් හෝ එරෙහි වන කාටත් හිරගෙදර දොර අරවන බව තේරුම් කෙරිණ.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උසාවියේ සිටි සියල්ලන් අපොයි ගාද්දී රිමාන්ඩ් කිරීමෙන් ‘රටේ ජනාධිපතිවරයාට නඩු පැවරීමට නොහැකිය’ යන මුක්තියේ බලය හිස් මුට්ටියක් බවට පත් කරමිනි. රිමාන්ඩ් බන්ධනාගාරගත කළ දාම රෑ රනිල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණේ වෛද්‍ය නිර්දේශ මතය. දැඩි සත්කාර ඒකකයේ සිටි රනිල් ඇප ගන්නට උසාවියට ඉදිරිපත් කළ මොහොතේ රනිල්ගේ අත තිබූ මහ පොත ගැන විමසූ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයා දැඩි සත්කාර ලබන රෝගියකු මේ තරම් විශාල පොතක් කියවන්නේ කොහොමදැයි ප්‍රශ්න කළේය. ආණ්ඩුව හිතන හැටි ජනතාවටද බෝවෙයි. දැන් ජනතාවද සිතන්න පටන් ගත්තේ යුක්තියේ මූලධර්මයට අනුව නොව ආණ්ඩුව හිතන හැටියටය. අපරාධ චෝදනා ලබන ඕනෑ එකෙක් අපාගත කළ යුතුය. රනිල් දැඩි සත්කාර ඒකකයට යොමු කළ වෛද්‍යවරුන් සී.අයි.ඩී.ය හමුවට ගෙනත් ප්‍රශ්න කරන්නට ආණ්ඩුව කටයුතු කළේ ඒ අනුවය. දැන් ජනාධිපතිවරුන් ඉහළ රජයේ නිලධාරින් වෘත්තීයවේදීන්, පොලිස් නිලධාරින්, දේශපාලනඥයන් කවුරුත් උදේ නැගිටින්නේ දවල්ට කල්දේරම් බත කන්නට වේදැයි සැකයෙනි. පාතාලය මඬින්න යන්නේ පෝය දෙකයි, බංකුවක් අරන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න එන්නැයි විපක්ෂයේ සිටියදී කළ වගාඩම්බරයද සාක්ෂාත් කිරීම ආණ්ඩුවේ වගකීම විය. ඒ අනුව ටොන් ගණන් කුඩු ගෙනා බෝට්ටුකාරයන්ද, පොලිසිය පනින විට සාක්කුව කලිසමේ එළියට ඇදී තිබුණ තරුණයාද අල්ලා මත්ද්‍රව්‍ය මැඬලීමේ පොලිසිය ඉලක්ක සපුරන්නට සියල්ලන් උසාවි දැමූ සැටි මීගමුව බන්ධනාගාර අරගලයට දා එය ඉදිරියට ආ කතක් කීවාය. ඇප දීම දුර්ලභය. හිරේ යැවීම සුලබය. 2025 වසරේදී අග්‍ර විනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අධිකරණයට ඉදිරිපත් කරන තැනැත්තාට ඇප දීම නියමය බවත්, බන්ධනාගාරගත කිරීම එහි ව්‍යතිරේකය බවත් පෙන්වා දෙමින් ඒ ගැන මහෙස්ත්‍රාත්වරුන් දැනුවත් කළ යුතු බවට නිර්දේශ කරමින් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත් නීතියෙන් නොව ව්‍යතිරේකයෙන් වැඩ කළ නිසා විසිහත්දාහක් වූ බන්ධනාගාරය දැන් හතළිස්දාහකින් සමෘර්ධය. මහ හිරගෙදර තාප්පෙට ‘හිරකාරයොත් මනුෂ්‍යයෝය.’ එහෙත් සිරගෙය ඇතුළෙදී මනුෂ්‍යත්වය ලබන්නේ හරක්කටාත්, වෙලේ සුදාත්, මදුරුදැල්, මෙට්ට, සහිතව හිරගෙදර නිදියන පාතාලයනුත්ය. හිරගෙවල්වල ඉඩ තියෙන්නේ දහදාහකටය. දැන් එහි හතළිස් දහසක් හිඳිති. එකෙකුට ඉන්න පුළුවන් තැන දෙන්නෙක් ඉන්නා විට කෙඳිරි ගෑවෙයි. හතර දෙනෙක් වැටුණු විට වෛරය පිරෙයි.


ගෙවුණ සතියේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල අපේ නීතියේ ආධිපත්‍යයේ තරම ලොවට පෙන්වන්නේය. මේ ආණ්ඩුව බලයට එන විට විසිහත්දාහකින් බන්ධනාගාරය පිරවූ යුක්තිය මෙහෙයුම කළ හිටපු පොලිස්පතිටත්, බන්ධනාගාරගත කළේය. අල්ලස්, දූෂණ මර්දන පනත හදා සම්මත කරන්නට කටයුතු කළ විජයදාස රාජපක්ෂ නම් හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ පුතාත් රිමාන්ඩ්ය. බන්ධනාගාරයේ මහ කැරැල්ල ගෙවුණ සඳුදා සිද්ධ වන විට බන්ධනාගාරයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයකු සිටියේ නැත. ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාවද බන්ධනාගාරගත කොට තිබුණ බැවිනි.


ඒ නිසා බන්ධනාගාරගත කරනකොට කෙඳිරිගාන්න එපා යැයි අවවාද කළ ආණ්ඩුව දැන් බන්ධනාගාර දොර ළඟ කෙඳිරි ගායි.

 

More News..