ස්මාර්ට් පන්ති කාමර 60 සඳහා අවසන් අනුමැතිය සතියක් ඇතුළත ලබාදීමට ඉන්දීය පාර්ශ්වයේ එකඟතාව
20 November 2026
ස්මාර්ට් පන්ති කාමර 60 සඳහා අවසන් අනුමැතිය සතියක් ඇතුළත ලබාදීමට ඉන්දීය පාර්ශ්වයේ එකඟතාව
20 November 2026
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශයේ ප්‍රධානී රොෂ්නි තොම්සන් මහත්මිය ඇතුළු ඉන්දීය නියෝජිත පිරිසක් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී වතු ප්‍රජාවේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත ස්මාර්ට් පන්ති කාමර 60ක ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
එම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාගත යුතු අනුමැතිය සතියක් හෝ දින දහයක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශයේ ප්‍රධානී රොෂ්නි තොම්සන් විසින් සඳහන් කළාය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ ස්මාර්ට් පන්ති කාරම 60ක මෙම ව්‍යාපෘතිය මේ වසරේ අවසාන අදියරට පැමිණ ඇති බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබා ගනිමින් මෙම වසර අවසානයට පෙර පාසල් දරුවන්ට එහි ප්රතිලාභ ලබාදීමට හැකි වන පරිදි කටයුතු කිරීම වැදගත් බවය.
එමෙන්ම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික හා මිත්‍රශීලී සබඳතා වර්තමානයේදී ද ඉතා ශක්තිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යවරයා සිය සතුට පළ කළේය.
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර එහි පළමු අදියර යටතේ ඉදිකෙරෙන නිවාස 1,300න් 2026 ඔක්තෝබර් 31 වන විට නිවාස 670ක ඉදිකිරීම් අවසන් කර ඇති අතර, තවත් නිවාස 306ක් වහල මට්ටම දක්වා ඉදිකර ඇති බවද අනාවරණය කෙරිණි.
එමෙන්ම දෙසැම්බර් 20 වනදා විට නිවාස 1,000කට ආසන්න ප්‍රමාණයක ඉදිකිරීම් අවසන් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා සඳහන් පෙන්වා දුන්නේය.
තවද, දෙවන අදියර යටතේ හිමිකම් පත්‍ර ලබාදී ඇති නිවාස 2,026ක ඉදිකිරීම් කඩිනම් කිරීම සහ ඉදිරි අදියරවලදී ප්‍රතිලාභීන් තෝරාගැනීමේ නිර්ණායක සම්බන්ධයෙන් වඩාත් ප්‍රායෝගික ප්‍රවේශයක් අනුගමනය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
ඒ සඳහා නිවාස අමාත්‍යවරයා සහ අදාළ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මේ අතර, දිට්වා ආපදාවෙන් හානි වූ නිවාස සඳහා ශ්‍රී ලංකා රජය ලබාදීමට තීරණය කර ඇති සහනාධාර වැඩසටහනට ඉන්දීය රජයේ දායකත්වය ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඒ අනුව දිට්වා හානි හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස අතරින් නිවාස 5,400ක් සඳහා ශ්‍රී ලංකා රජය ලබා දෙන රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලින් පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දීමටත් අර්ධ හානි සිදුවූ නිවාස සඳහා ලක්ෂ 05 බැගින් ලබාදීමටත් ඉන්දීය රජය සුදානම් බව මෙහිදි නියෝජිත පිරිස පැවසීය.


