ගම්වල ආණ්ඩු විරෝධී බලවේග ගොඩනැගෙද්දී ආණ්ඩුව විපක්ෂ නායකයන් සිරකරන සංදර්ශන පෙන්වනවා
22 September 2026
ගම්වල ආණ්ඩු විරෝධී බලවේග ගොඩනැගෙද්දී ආණ්ඩුව විපක්ෂ නායකයන් සිරකරන සංදර්ශන පෙන්වනවා
22 September 2026
මාලිමා අණ්ඩුව රට පුරා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැලි මාලාවක් ක්‍රියාත්මක කරමින් සිටින මොහොතක පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ දේශපාලන රැලියක් සංවිධානය කළේය. නාමල් රාජපක්ෂ සහභාගිවීමට නියමිතව තිබූ එම රැලියට ඔහුට සහභාගිවීමට නොහැකි වූයේ ඔහු මේ වනවිට බන්ධනාගාරගතව සිටින බැවිනි. කෙසේ වුවද ඊට හිටපු ජනාධිපති පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සහභාගිවිය. මෙම අනුරාධපුර රැලියට මහින්ද රාජපක්ෂ සහභාගිකරවා ගැනීම පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රවල මෙන්ම සමාජ ක්‍රියාකාරකයන් තුළත් විවිධ මතවාද ගොඩනැඟී තිබුණි. සමහරු පෙන්වා දී තිබුණේ රාජපක්ෂවරුන්ගෙන් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දේශපාලන ගමනක් නොමැති බවයි. අපි ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් සමග කළ සාකච්ඡාවයි මේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රාජපක්ෂලාගෙන් තොර දේශපාලන ගමනක් නැද්ද?
මේ රටේ බහුතර ජනතාවක් ඒකරාශී වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටත් දේශපාලනිකව ජයග්‍රාහී ගමනක ඉදිරියට යමින් සිටිනවා. මම හිතනවා ඔබත් එය දකිනවා. ඔබ අහන්නෙ රාජපක්ෂලාගෙන් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගමනක් නෑ කියලනේ. ඒක වැරැදියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළේ රාජපක්ෂවරු වුණාට එහි, තිබෙන්නේ මෙරටේ බහුතර ජනතාව ගේ දේශපාලන දර්ශනයයි. ඒ නිසා මේක මෙරට බහුතර ජනතාව නියෝජනය කරන පක්ෂයක්. ඒ ජනතාව කැමැතිතාක් කල් රාජපක්ෂවරු මෙහි නායකත්වය ගෙන කටයුතු කර ගෙන යනවා. ජනතා ඉල්ලීම අනුව තමයි දෙවැනිපෙළ නායකයෙක් විදියට නාමල් රාජපක්ෂ මේ පක්ෂයේ වගකීම කරට අරගෙන රටේ ජනතාව එක්ක ඉදිරියට යන්නෙ. බෞද්ධ සංස්කෘතිය සභ්‍යත්වය නොතකන අයට මේවා මැජික් වගේ පෙනෙනවා ඇති නමුත් මෙරට බහුතර ජනතාවට කළගුණ හොඳට මතක තියෙනවා.
මෙරට කීර්තිමත් දේශපාලනඥයකු ලෙස පිළිගන්න මෙරට පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට වයෝවෘද්ධයි. බැරි බැරි ගාතේ ඔහු වේදිකාවට රැගෙන එන්නේ ඔබලාට රාජපක්ෂවරුන්ගෙන් තොර දේශපාලනයක් නැති නිසා කියල සමහරු චෝදනා කරනවා නේද?
කුහක ඊර්ෂ්‍යාකාර පාදඩ දේශපාලන පක්ෂ මොනවා කිව්වත් මේ රටේ දේශපාලනයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ පාලන කාලය කියල ලෝකයම පිළිගන්නවා. එතුමා ගේ කාලය තුළ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජයට පත් කරලා මෙරට ස්වාධීන ස්වෛරි රාජ්‍යයක් බව ලෝකයටම ඔප්පු කරලා පෙන්වලා තිබෙනවා. යුද්ධ කරන්න මහ විශාල මුදලක් වැය කරන ගමන් මෙරට කිසිවකු බඩගින්නේ නොතබා කෑම බිම සුලබ කරන ගමන් රටේ දැවැන්ත සංවර්ධනයක් කරලා තිබෙනවා. අධිවෙිගි මාර්ග ගුවන් තොටුපල පෝට්සිටි මේ ආදි දැවැන්ත සංවර්ධන කාර්යයන් මෙරට ගොඩනැගුනේ මහින්ද රාජපක්ෂයන් ගේ දේශපාලන දර්ශනය මතයි. ඒ චරිතය ඝාතනය කරලා සමාජයෙන් තුරන් කරන්න සමහරු උත්සහ කරනවා.
මම ඔබෙන් ඇහුවේ වයෝවෘද්ධ මහින්ද රාජපක්ෂ අනුරාධපුර වේදිකාවට අමාරුවෙන් රැගෙන ආවේ රාජපක්ෂලාගෙන් තොර දේශපාලන අනාගතයක් ඔබලට නැති නිසා කියල සමහරු චෝදනා කරනවා නේද කියලයි...
නෑ. රාජපක්ෂලා දේශපාලන වේදිකාවට ආවත් නාවත් ඔවුන් නියෝජනය කරන දේශපාලන දර්ශනය මෙරටේ බහුතර ජනතාව වැළඳගෙන ඉවරයි. ඇත්තටම අනුරාධපුර දැවැන්ත රැලියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහභාගි වෙන්න බලාපොරොත්තු වුනේ නෑ. නමුත් මේ ආණ්ඩුව සැලසුම් සහගතව නාමල් රාජපක්ෂ බන්ධනාගාරගත කිරීම ජනතාව තුළ ආවේගයක් ඇති කරමින් තිබුණා. ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාම තීන්දු කළා ඔහු අනුරාධපුර රැලියට සහභාගි විය යුතුයි කියල. ඒ අනුව තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අනුරාධපුරයට ආවේ. ඒක තමයි එතුමා තුළ තිබෙන නොබිඳෙන නොසිඳෙන ජනතා ගෞරවය. එතුමා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන අයට වඩා අපි එතුමට ආදරෙයි. එතුමා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා. එතුමා රැකගන්න අපිට පුළුවන් එක අපේ වගකීමක් විදියටයි සලකන්නෙ.
වත්මන් ආණ්ඩුවට ඔබලා චෝදනා කරනවා මිස ඒ එක චෝදනාවක්වත් ඔප්පු කර ගන්න බැරිවෙලා තියෙනවා නේද?
ආණ්ඩුව විපක්ෂය දඩයම් කරමින් ඔවුන් කරන දුෂණය වංචාව හොරකම දැන් ඔවුන් ගේ බෙල්ලටම හිර වෙලා තිබෙන්නෙ. ඒක වෙනකාටත් වඩා හොඳට ආණ්ඩුවේ ප්‍රබලයෝ දැන ගෙන ඉන්නවා. එනිසා තමයි බලය පාවිච්චි කරලා විපක්ෂයේ ඉදිරිපෙල නායකයන් මර්දනය කරන්න හදන්නෙ. ආණ්ඩුව ඔය මොනවා කළත් මේ අවුරුදු දෙකට ඔවුන් කරලා තියෙන දේට ඔවුන්ගෙන් වැඩි පිරිසකට ජීවිතාන්තය දක්වා හිර ගෙවල්වල තමයි ලගින්න වෙන්නෙ. දැන් ඔවුන් ජනප්‍රිය බව පෙන්වාගෙන තිබෙන්නෙ ඔවුන් විසින්ම නඩත්තු කරන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් මගින් විපක්ෂයට දැඩි මඩ ප්‍රහාර එල්ල කරමින් ආණ්ඩුවට සුදු හුණු ගාන්න ඔවුන් පුරුදු කරලා තිබෙනවා. නමුත් මැතිවරණයකදී ජනතාව ගන්න තීන්දුව ඔය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට වළක්වන්න බෑ. දැනටමත් ගම්මට්ටමේ ආණ්ඩු විරෝධි බලවේග ගොඩනැගිල ඉවරයි. මේ ආණ්ඩුව පත්කරගන්න වෙහෙස මහන්සි වූ ප්‍රබලයෝම දැන් ගම්වල ජනතාව ආණ්ඩුවට එරෙහිව පෙළ ගස්වමින් ඉන්නවා. වළක්වන්න බෑ. ඒවා සමාජගත වීම වළක්වන්න තමයි විපක්ෂ නායකයන් සිර කරන සංදර්ශන පෙන්වන්නෙ. මේ ආණ්ඩුවේ හැමෝම දන්නවා දැන් ආණ්ඩුවට තියෙන ජනප්‍රසාදය කොයි වගේද කියල. ඒ නිසා තමයි ජවිපෙ නොවන ජාතික ජන බලවේගයට අයත් කණ්ඩායම් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නෙ. තව ටික දවසකින් ආණ්ඩුව ඇතුළෙන්ම විශාල පිපුරුමක් ඇති වෙලා ආණ්ඩුව කඩා වැටෙන්න තියෙන ඉඩ වැඩියි. අපි ආණ්ඩුවට කියන්නෙ පුළුවන් නම් ඒක නවත්වා ගන්න බලන්න කියල.
රාජපක්ෂලා හොරු කියන එක සමාජගත කරලා ඒක දැන් ප්‍රායෝගිකව ඔප්පු කරන්නත් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නෙ. නමුත් රාජපක්ෂලා හොරු නොවෙයි කියලා ඔප්පු කරන්න ඔබලට තවමත් බැරි වුණා නේද?
ඕනැම දෙයක් එක විදියට දිගු කාලයක් සමාජගත කරන කොට බොරුවක් වුණත් ඒක ඇත්තක් විදියට සමාජයේ පැලපදියම් වෙනවා. රාජපක්ෂ හොරු කියන කතාවත් එහෙම සමාජයේ පැලපදියම් කරපු කතාවක්. ඔබ කිව්වනේ ඒක දැන් මේ ආණ්ඩුව ප්‍රායෝගිකවත් ඔප්පු කරන්න කටයුතු කරනවා කියල. අන්න ඒක තමයි වැදගත්ම කාරණය. වත්මන් ආණ්ඩුව කියන විදියට රාජපක්ෂලා හොරු නම් ඒක නීතිය ඉදිරියේ විනිවිදභාවයෙන් යුතුව ඔප්පු කරන්න ඕනේ. අපි දැඩි විශ්වාසයෙන් හා අභිමානයෙන් කියන්නෙ ඒක මේ ඊර්ෂ්‍යාකාර ආණ්ඩුවට කරන්න පුළුවන් වෙන්නෙ නෑ. ඔවුන් මැතිවරණ වේදිකාවේ කිව්වා මහින්දට පගාව දිපු චෙක් නම්බර්ස් තියෙනවා කියල. උගන්ඩාවේ හංගපු සල්ලි ආපහු අර ගෙන එනවා කීවා. ලැම්බෝගිනි තියෙනවා කිව්වා. බල්ලාගේ කරේ රත්තරන් මාල තියෙනවා කිව්වා. මේ දක්වා ඔය කියන ඒවා ඔප්පු කර ගන්න බැරිව දැන් ඒ චෝදනා පාරාවළල්ලක් විදියට ඔවුන්ටම කැරකෙමින් තිබෙනවා. සාමාන්‍ය නීතිය අනුව පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිරගත කරන්න පුළුවන් වන්නේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කරලා සාධාරණ සාක්ෂි ප්‍රමාණයක් ඇති බව තහවුරු වුණොත් පමණයි. නමුත් දැන් ආණ්ඩුව කරන්නේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කරනතුරු සැකකරු අත්අඩංගුවට අරගෙන හිර කරන එකයි. මේ ක්‍රියාදාමය කවදා හෝ විමර්ශනයකට ලක් වෙනවා. එදාට ඊට වගකිව යුතු හැම දෙනාටම නීතිය අනුව විපාක විඳින්න වෙනවාමයි. දේශපාලන ඊර්ෂ්‍යයාව වෛරය තුළ මොනවා කීවත් කළත් මේ රටේ ස්වභාවධර්මයක් තිබෙනවා. ඒ ධර්මය නිවැරැදිකරු වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා. ඒ නිසා අපි බලාගෙන ඉමු. සත්‍යය ජයගන්න එක නවත්වන්න බෑ. ජනතාව දැනටමත් ඇත්ත තේරුම් ගෙන ඉන්නවා. තව ටික දවසක් යද්දි වෛරී දේශපාලකයන්ට ස්වභාවධර්මය පාඩම් උගන්වාවි. එදාට අද අපිට දැනෙන වේදනාව වගේ දස ගුණයක වේදනාවක් ඔවුන්ට දැනේවී. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන් කරන දේවල්වල විපාක ලොව කොතනක කොහොම හිටියත් පල දෙනවා කියල. අපි ඒ දහම විශ්වාස කරන බෞද්ධයෝ.
ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්මත කර ගන්න කටයුතු කරමින් සිටිනවා. ඊට නීතිඥ ප්‍රජාව මෙන්ම රටේ බහුතර සිවිල් සංවිධානවල විරෝධතාවක් මතුව තිබෙනවා. ඒ විරෝධතා බල ගන්වා රජයට බලපෑමක් කරන්න විපක්ෂය අසමත් වී සිටිනවා නේද?
ඇත්තටම ප්‍රධාන විපක්ෂයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් පසුබැමක් තිබෙන බව අපි පිළිගන්න ඕනේ. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපි ආණ්ඩුවේ මර්දනය හා හිතුවක්කාරි කටයුතු ගැන ජනතාව දැනුවත් කරමින් ඉන්නවා. අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා ආණ්ඩුවට 22 ක සම්මත කර ගන්න නම් පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්ත වගේ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙයි කියල. අධිකරණයේ ස්වාධීනත්වය ගැන අපි තවමත් විශ්වාස කරනවා වගේම ගරු කරනවා.

