brand logo
logo
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය

10 November 2026


මේ රටේ දේශපාලන ඉතිහාසය ගැන දත්තන්ට ඉකුත්දා (නොවැම්බර් 6 වැනිදා) කනගාටුදායක ආරංචියක් දැනගන්නට ලැබුණේය. ඒ මේ අවුරුද්දේ 75 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් නීත්‍යනුකූල දේශපාලන පක්ෂයක් නොවන බවයි. පක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර පවතින අභ්‍යන්තර අර්බුදය නිරාකරණය කරගන්නා තුරු තමන් ශ්‍රීලනිපය පිළිනොගන්නා බව මැතිවරණ කොමිසම විසින් දැනුම් දී තිබේ.


මැතිවරණ කොමිසම පිළිගත් දේශපාලන පක්ෂ 85 ක් ශ්‍රී ලංකාවේ තිබේ. ඉන් ඉතා වැඩි ගණනක් පක්ෂයේ නම ගැසූ බෝඩ් කෑල්ලට නැත්නම් ලිපි ශීර්ෂයට පමණක් සීමාවූ නාමික පක්ෂය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එබඳු පක්ෂයක් නොවීය.


1951 දී එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ඇරඹුණු ශ්‍රීලනිපය ඉන් අවුරුදු පහක් ගතවෙද්දීම රටේ ආණ්ඩුබලය අතට ගැනීමට සමත් විය. අනතුරුව එය 1960 ජූලි හා 1970 මහා මැතිවරණවලින්ද ජයග්‍රහණය කළ අතර 1994, 2000, 2004 හා 2010 මැතිවරණවලින් දිනුවේද ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානවලින් ඉදිරිපත් කළ කණ්ඩායම්ය. 1994, 1999, 2005 හා 2010 ජනාධිපතිවරණවලින්ද ජය ගත්තේ එබඳු අපේක්ෂකයන්ය.


ඒ අනුව අපේ ⁣රට ඉතා වැඩි කාලයක් ආණ්ඩු කළ දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන්නේ ශ්‍රීලනිපයයි. ඒ සා බලගතු පක්ෂයට හෙනහුරා ලැබුවේ එහි මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන ඉන් ඉවත්වී 2015 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා හැටියට තරග කර ජයග්‍රහණය කිරීමෙන් පසුවය. ඒ ජයග්‍රහණයෙන් පසු ඔහු ශ්‍රීලනිපය ගලග්‍රහණයෙන් ගත් අතර පක්ෂයේ බහුතරය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය පිහිටුවීමත් සමග එහි අවසානයේ ආරම්භය උදා වුණේය.


බ්‍රිතාන්‍යය විසින් එවකට සිලෝන් නමින් හැඳින්වුණු ශ්‍රී ලංකාවට 1948 දී නිදහස ලබා දුන්නද 1956 දක්වා සිදුවූයේ සුදු හමැති මිනිසුන් පාලනය කළ රට දුඹුරු හමැති මිනිසුන්ගේ අධිකාරියට යටත්වීම පමණය. 1956 ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩුව ඒ දක්වා රටේ තිබූ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඉවත් කළ අතර 1970 ආණ්ඩුව බලයට පත්වී දෑවුරුද්දකට පසු බ්‍රිතාන්‍ය කිරීටයේ නාමික පාලනයෙන්ද ඉවත්වී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කළේය.


මෙසේ ශ්‍රීලනිපය තමන් බලයේ සිටි කාලවලදී රටට අනන්‍යතාවයක් ලබාදුන් බොහෝ කාරණා කටයුතුවලට පුරෝගාමී වූයේය. සිංහල රාජ්‍ය භාෂාව කිරීම ඉන් ප්‍රමුඛය. තවමත් යටත් විජිත මානසිකයෙන් නොගැලවුණු පිරිස් විසින් එය අදූරදර්ශී පියවරක් හඳුන්වනු ලැබූවද එය රටුන්ගේ ජන ජීවිතය මුළුමණින් කණපිට හැරවූ දැවැන්ත පියවරක් විය.


මේ රටට නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබුවේද ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩු විසින් වන අතර 1976 නොබැඳි ජාතීන්ගේ සමුළුව කොළඹදී පවත්වමින් ඔවුුහු ජාත්‍යන්තර නායකත්වයටද පත්වූහ. නොබැඳි පිළිවෙතේ වටිනාකම වැටහෙන්නේ 1977 දී බලයට පත් ආණ්ඩුව ඇමරිකන් ගැති පිළිවෙතක් අනුගමනය කිරීම නිසා එල්ටීටීඊ ත්‍රස්තවාදයට විරුද්ධව කළ සටනේදී රටේ සමීප මිතුරා වී සිටි අසල්වැසියා සතුරු කර ගැනීම නිසාය. ශ්‍රීලනිපය බලයේ සිටියේ නම් සිවිල් යුද්ධය 1987 වඩමාරච්චි සටනෙන් ඉවර කරගන්නටද, සුදු අලියෙක් වී ඇති පළාත් සභා බිහිකළ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් නොකෙරෙන්නටද හොඳටම ඉඩකඩ තිබුණේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඛෙදවාචකය වූයේ එය බණ්ඩාරනායකවරුන්ගේ දේපොළක් හැටියට මිස ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් හැටියට ගොඩ නොනැගීමය. 1960 දී සී.පී.ද සිල්වාටද 1977 න් පසු මෛත්‍රීපාල සේනානායකටද පක්ෂ නායකත්වය අහිමිවී ගියේ එය බණ්ඩාරනායක පවුලේ පක්ෂයක් වීම නිසාය. 2005 දී මහින්ද රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුන්නද චන්ද්‍රිකා හා අනුර බණ්ඩාරනායක කටයුතු කළේ ඔහු පරදවන්නට මිස දිනවන්නට නොවේ.


2015 දී පක්ෂ නායකයාට විරුද්ධව ජනාධිපතිවරණයට තරග කළ එනිසා පක්ෂයෙන් ඉවත්කළ මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ නායකත්වය ලබාදීමට මගපෑදීමද ඒ වැඩපිළිවෙළම ඉදිරියට ගෙනයාමක් මිස අනෙකක් නොවීය. එහෙත් ඔහු යටතේ ශ්‍රීලනිපයට 2020 මහා මැතිවරණය තරග කරන්නට සිදුවූයේ මහින්ද රාජපක්ෂ විසින් පිහිටුවා ගනු ලැබූ අලුත් පක්ෂයෙන් වීම දෛවයේ සරදමකි. දැන් ශ්‍රීලනිපය විසින් තමන්ගේ වළ තමන් විසින්ම කපාගෙන තිබේ.


අවමඟුලකදී මියගිය තැනැත්තාගේ ගුණ ගායනා කරමින් කතා පැවැත්වීම අපේ රටේ පමණක් නොව බොහෝ රටවලද සංස්කෘතියේ අංගයකි. ශ්‍රීලනිපයේ අවමඟුලේදී ද එය ගැන වර්ණනා කරමින් කියන්නට බොහෝ දෑ ඇතත් එහිදී ප්‍රමුඛ වන්නේ රටේ අනෙක් ප්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය අධිරාජ්‍යවාදී අතකොලුවක් හැටියට තිබෙද්දී ශ්‍රීලනිපය බිහිවූයේ දේශීයත්වයට මුල්තැන දුන් සාමාන්‍ය මිනිහාගේ පක්ෂය හැටියට වන අතර එය එහි අනන්‍යතාවය වූ බවය. තමන්ගේ අනන්‍යතාව නැතිකරගන්නා තැනැත්තේ ජීවත්වුවද මළා හා සමාන වන අතර අද ශ්‍රීලනිපය ගැනද කියන්නට ඇත්තේ එයයි.

 

More News..