brand logo
logo
 ජිනීවාහි දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීම

ජිනීවාහි දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීම

09 September 2026


රටක් විසින් ජාතික ක්‍රියාවලීන්, සංවාදය, සහයෝගීතාව සහ තාක්ෂණික සහය හරහා ප්‍රගතියක් පෙන්වන විට, අදාළ රටවල් වලට විශේෂිත වූ යෝජනා අවසන් කිරීම සඳහා විශ්වාසදායක මාවතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සැපයිය යුතු බව ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත, තානාපති සුමිත් දසනායක මහතා අවධාරණය කරයි.


ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේ 2 වැනි න්‍යාය පත්‍ර අයිතමය යටතේ පැවති සාමාන්‍ය විවාදයේදී අදහස් දක්වමින් 

ඒ මහතා මේ බව අවධාරණය කරයි.


මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් (Volker Türk) මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ලිඛිත යාවත්කාලීන වාර්තාවද කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.


මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා අමතමින් තානාපති සුමිත් දසනායක මහතා පෙන්වා දුන්නේ, සන්නද්ධ ගැටුම්, අවතැන්වීම් සහ මානුෂීය අර්බුද වැනි දැඩි සහ හදිසි මානව හිමිකම් අභියෝගවලට ජාත්‍යන්තර ප්‍රජාව මුහුණ දී සිටින වකවානුවක, කවුන්සිලයේ සම්පත් වඩාත් දැවෙන ගෝලීය අභියෝග වෙත යොමු කළ යුතු බවය.


විශේෂයෙන්ම රටක් පැහැදිලිව නිර්වචනය කරන ලද අරමුණු සහ මැනිය හැකි ප්‍රතිඵල මත පදනම්ව කාලීන සමාලෝචනයකට ලක් විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.


එසේම, යෝග්‍ය අවස්ථාවලදී රට-විශේෂිත යෝජනාවලට කාලසීමා අවසන් කිරීමේ වගන්ති (Sunset clauses) සහ අදියර වශයෙන් ඉවත් වීමේ විධිවිධාන නිශ්චිතවම ඇතුළත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.


මේ අතර, මෙම විවාදය අතරතුර, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය අගයමින් රටවල් කිහිපයක්ම අදහස් දැක්වූ බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය සඳහන් කරයි.

 

More News..