brand logo
logo
"කච්චතිව් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණය සාදරයෙන් පිළිගන්නවා" – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්

"කච්චතිව් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණය සාදරයෙන් පිළිගන්නවා" – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්

09 October 2026

කච්චතිව් ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණය සාදරයෙන් පිළිගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.


නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 


කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් යළි ලබාගත යුතු බව ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් වන විභාගය පසුගියදා පැවැත්විණි.


එහිදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංජය කුමාර් මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල, තමිල්නාඩු ධීවරයන් ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.


විශේෂයෙන්ම කච්චතිව් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස තමිල්නාඩු ධීවරයන්ට පැහැදිලි උපදෙස් සහ අවශ්‍ය දැනුවත් කිරීම් ලබාදිය යුතු බව අධිකරණය අවධාරණය කර ඇත.


දෙරට අතර පිළිගෙන ඇති ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ වැදගත්කම ද එහිදී අධිකරණය විසින් පැහැදිලි කර ඇති බව සඳහන්ය.


තවද, නඩු විභාගය අතරතුරදී විනිසුරු සංජය කුමාර් මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදී එරට ජනතාව වෙරළ තීරයන් සහ පොදු ස්ථානවල පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැක්වූ සමාජ වගකීම තමන් නිරීක්ෂණය කළ බව සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ ජනතාව පොදු ස්ථානවල කැළි කසළ බැහැර නොකර පරිසරය ආරක්ෂා කිරීමට දක්වන අවධානය තමන්ගේ විශේෂ අවධානයට ලක් වූ බවද ඔහු පවසා තිබේ.


ශ්‍රී ලාංකීය ජනතාව තුළ පවතින එවැනි සමාජ වගකීම සහ සාගර පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි දක්වන අවධානය, සාගර සම්පත් සංරක්ෂණයට ද සාධනීය දායකත්වයක් ලබාදිය හැකි බව විනිසුරුවරයා සිය නිරීක්ෂණයේදී පෙන්වා දී තිබේ.


එමෙන්ම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පවතින මත්ස්‍ය සම්පත් තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කර ඇත.

"ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස තමිල්නාඩු ධීවරයන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කර ඇති නිරීක්ෂණය අපි සාදරයෙන් පිළිගනිමු.

ශ්‍රී ලංකාවේ සාගර සම්පත් සහ සාගර පරිසරය ආරක්ෂා කිරීම අප රජයේ ප්‍රමුඛ වගකීමකි. අපගේ මුහුදු සීමාවේ සිදුවන නීති විරෝධී සහ විනාශකාරී ධීවර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපි අඛණ්ඩව විරෝධය පළ කරමින් සිටිමු.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන විදේශීය ධීවර යාත්‍රා සහ විශේෂයෙන්ම මුහුදු පත්ලට හානි සිදුකරන ආකාරයේ ධීවර ක්‍රම භාවිත කිරීම, උතුරු පළාතේ ධීවර ජනතාවගේ ජීවනෝපායට මෙන්ම අපගේ සාගර සම්පත්වලටද බලපෑම් ඇති කරයි.

එබැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගරු කිරීමත්, එක් එක් රටවල සාගර සම්පත් සහ ධීවර ජනතාවගේ ජීවනෝපාය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, දෙරට අතර පවතින යහපත් සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

කච්චතිව් සම්බන්ධයෙන් 1974 වසරේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුමත්, 1976 වසරේදී මුහුදු සීමාව සහ ධීවර කටයුතු සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතා සහ විධිවිධානත්, දෙරට අතර පවතින දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික අවබෝධය මත පදනම් වී ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලිය.

එමෙන්ම ධීවර ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කරන අතරම සාගර සම්පත්ද ආරක්ෂා වන ආකාරයෙන්, දෙරට අතර පවතින සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේද හරහා තිරසාර විසඳුම් කරා ඉදිරියට යාම වැදගත් වේ” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

කච්චතිව් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී, 1974 සහ 1976 වසරවලදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වල නීතිමය වලංගුභාවය සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුවක් ලබාදී නොමැත. මෙම නඩුවේ වැඩිදුර විභාගය 2027 පෙබරවාරි මාසය දක්වා කල් දමා තිබේ.

මෙවැනි පසුබිමක, ඉන්දීය ධීවරයන් ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබීම, දෙරටේ ධීවර ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂාව, සාගර සම්පත් සංරක්ෂණය සහ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා යන කරුණු සම්බන්ධයෙන් වැදගත් නිරීක්ෂණයක් ලෙස සැලකිය හැකිය."

 

More News..