රක්වානේ පාසල් සිසුන්ට සහ වයසක අයට අමුතු ලෙඩක්
02 October 2026 | •ඉන්දික වික්‍රමආරච්චි - රක්වාන
රක්වානේ පාසල් සිසුන්ට සහ වයසක අයට අමුතු ලෙඩක්
02 October 2026 | •ඉන්දික වික්‍රමආරච්චි - රක්වාන
රක්වාන නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශවල පාසල් සිසුන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන් අතර පැතිර යන රෝගී තත්ත්වයක් හේතුවෙන් දෛනිකව රෝගීන් තුන්සීයක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල වෙත පැමිණෙන බව රක්වාන ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගයාන් ලක්ෂිත පවසයි.
බිමට ගන්නා ජලය සමග මුසුවූ යම් විෂබීජයක් හේතුවෙන් මෙම රෝගය පැතිර යන බවට සැක පළ කරන අතර වාර්තා වන රෝගීන්ට දින තුනක සිට වමනය, පාචනය සමග උණ රෝගය පවතින බව ද හෙතෙම පැවැසීය.
මේ සම්බන්ධයෙන් ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ රක්වාන නගරයට පානිය ජලය සපයන රක්වාන ප්‍රජා සංවර්ධන පදනම යන ආයතන දැනුවත් කිරීමට පියවර ගත් බවද වෛද්‍යවරයා පැවැසීය.
රක්වාන නගරයේ පවතින පාසල් පහක බහුතරයක් සිසුන්ට මෙම රෝගි තත්ත්වය ඇති වී ඇති අතර මේ වන විට රෝගීන් තිදෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මේ සම්බන්ධයෙන් රක්වාන මහජන සෞඛ්‍ය පරික්ෂක ලලිත් නන්දන අබේගුණසේකර පැවැසුයේ මෙම රෝගි තත්ත්වය වාර්තා වු වහාම ජල මූලාශ්‍රය හා ජලය එක්රැස් කරන ජල ටැංකි ආදිය පරික්ෂා කළ බවයි. මීට අමතරව දිනපතා ජලයේ ක්ලෝරින් සාන්ද්‍රනය පරික්ෂා කරන අතර ජල සාම්පලයක් විශේෂ පරික්ෂාවක් කිරීමට යොමු කර ඇති බව ද හෙතෙම පැවැසීය.
මේ සම්බන්ධයෙන් රක්වාන ප්‍රජා සංවර්ධන පදනමේ උප සභාපති චමින්ද දෙල්පාගොඩ පැවැසුයේ ජල මූලාශ්‍රය සහ ජල ටැංකි ද සේවකයන් යොදවා පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති බවත් ජලයේ යම්කිසි විෂබීජයක් පවතීද යන්න තහවුරු කර ගැනීමට ජල සාම්පල රසායනාගාරය යොමුකර ඇති බවත්ය.

