brand logo
logo
වැවිලි සමාගම් ප්‍රෝඩාව

වැවිලි සමාගම් ප්‍රෝඩාව

24 July 2026

වැවිල්ල හොඳය! අපේ මුතුන් මිත්තෝ හොඳට වැව්වෝය. ගොවිතැන් බත් කළහ. මහ වැව් අමුණු ආදියෙන් එය පැහැදිලි වෙයි. බටහිර යටත් විජිත පාලනයට පෙර ලෝකෙට අත නොපා අපට ජීවත්වීමට හැකි වූයේ එකී වැවිල්ල නිසාය. යටත්විජිත පාලන යුගයේදී මෙරට විවිධ වැවිලි සමාගම් ඇතිවිය. වාණිජ භෝග වගාවන් එමගින් දිරිමත් කෙරිණි. කෝපි සහ තේ වගාව කෙරෙහි අවධානය යොමු වූයේ එනිසාය. කෝපි කෙසේ වෙතත් තේ වැවිල්ල දැන් ලංකාවේ ආර්ථිකය ගැට ගසා තිබෙන ප්‍රධාන කණුවලින් එකකි. එනිසා වැවිල්ල, ගොවිතැන කෙරෙහි ළැදි මානසිකත්වයක් අපේ රටේ උදවියට තිබේ. වැවිල්ලෙන් ගොඩ යා හැකි බව ඔවුහු සිතති. මේ වැවිලි ළැදියාව හිතා උපායශීලී ලෙස වාසියට යොදාගෙන මහජන මුදල් ගැරිල්ලට යොමු වූ නීති විරෝධී, ව්‍යාජ වැවිලි ආයතන පසුගිය කාලයේ හතු පිපෙන්නා සේ රටේ විවිධ ප්‍රදේශවල මතුවිය. මෙකී සමාගම් මහජනතාව වැවිල්ලට එක් කරගන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් මහජනතාවගෙන් මුදල් ගරමින් ඒවා විවිධ වැවිලිවලට යොදා ලොකු පොලියක් ජනතාවට දෙන බව සඳහන් කරයි. අපේ ජනයාටද කොහෙන් හෝ ලාභයක් කඩා පාත් වේ නම් කුමක් වුවත් කම් නැත. ජාවාරම්කාරයන් සිය වාසියට හරවා ගන්නේ මෙකී ලාභ ලෝභ මානසිකත්වයයි. කලක් වල්ලපට්ටා මහා පරිමාණයෙන් වගා කරන බව පවසමින් ජනතාවගේ මුදල් ලබාගත්හ. තවත් සමාගමක් අඹ වගාව මුලට දැම්මෝය. මේ අතර තවත් පිරිසක් අගාවුඩ් ව්‍යාපෘතිය ගෙන යති. මෙකී බොහෝ සමාගම් ඉලක්ක කරන පිරිස් සිටිති. සමහර සමාගම් ඉලක්ක කරන්නේ ග්‍රාමීය සල්ලිකාරයන්ය. එසේම තවත් සමහර සමාගම් කඳ මිස හිස නැති මධ්‍යම පාන්තිකයන් ඉලක්ක කරති. ග්‍රාමීය හෝ නාගරික භේදයක් නැතිව මේ බොහෝ උදවිය කොහෙන් හෝ තමන්ට ලාභයක් කඩා පාත් වේ නම් එහිලා බෙහෙවින් කැමැති වෙති.


විටින් විට නොයෙක් ජාවාරම්කාර සමාගම්, පුද්ගලයන් මතුවී මිලියන, බිලියන ගණනින් මහජන මුදල් කොල්ල කාගෙන වහං වෙන්නේ මෙකී බාල මානසිකත්වය ඉතා හොඳින් ප්‍රයෝජනයට ගනිමිනි. දඬුවම් මුදලාලිලා වැනි චරිත කලකට පෙර කළ රැඟුම් අපි දනිමු. එහෙත් වැවිලි සමාගම් ඉතාම උපායශීලී ලෙස, නූතන තාක්ෂණය යොදාගෙන මහජනතාව රවටති. ඔවුන් ග්‍රාමීය ජනතාව බෙහෙවින් ඉලක්ක කරනුයේ වෙළහෙළඳාමෙන් හෝ ගොවිතැනින්, වතුපිටිලින් එකතු කරගත් මුදල් ග්‍රාමීය ජනතාව ළඟ තියෙන බව දන්නා හෙයිනි. බොහෝදුරට ඔවුන් එකී මුදල් බැංකුවල තැන්පත් කර කුඩා පොලියක් ලබාගන්නා බව වංචාකාර සමාගම් දනී. එනිසා එකී සමාගම් ජනතාවට ප්‍රකාශ කරන්නේ තමන් සියයට තිහක හතළිහක පොලියක් ලබාදෙන බවය. ඔවුන් කරනුයේ වැඩි වශයෙන් මහජනතාවගෙන් තැන්පතු ගෙන ඒවා මගින් කලින් අයට ගෙවීම් කිරීමය. මේ ක්‍රමය එක් තැනකදී බිඳවැටේ. ශ්‍රී ලංකා මහ බැංකුව කිහිපවතාවක්ම මහජනතාවට උපදෙස් දුන්නේ වැවිලි සමාගම්වලට ආයෝජනය නොකරන ලෙසයි. පසුගිය දිනකද මහ බැංකු අධිපතිවරයා එකී පණිවුඩයම මහජනතාවට ලබා දුන්නේය. ඔහු සඳහන් කළේ මහජනතාවගෙන් තැන්පතු ලබා ගන්නා මෙකී වැවිලි සමාගම් මහ බැංකුවේ හෝ වෙනත් පිළිගත් ආයතනයක නියාමනයට යටත් නොවන බවය. එසේ මහ බැංකුවේ නියාමනයට යටත් නොවන නීතිවිරෝධී සමාගම්වලට ආයෝජනය කරන මුදල් සම්බන්ධයෙන්ද වගකීමක් ශ්‍රී ලංකා මහ බැංකුවට නොමැත. මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ ඉතා වැදගත් කරුණක් නම් මහ බැංකුවේ මූල්‍ය සමාගමක් හැටියට ලියාපදිංචි කර නොමැති මෙකී වැවිලි සමාගම්වලට මහජන තැන්පතු එකතු කිරීමට, භාරගැනීමට කිසිදු නීත්‍යනුකූල අයිතියක් නොමැති බවය.


එහෙත් මෙම ප්‍රෝඩාකාරී සමාගම් මහජන මුදල් දස ලක්ෂ ගණනින් නොව කෝටි ගණනින් භාරගනියි. ඒ අනුව මෙකී සමාගම් කරනුයේ මූල්‍ය වංචාවකි. ජනතාවද දැන හෝ නොදැන මේ මූල්‍ය වංචාවට අනුබල දෙති. එසේ මහජන මුදල් තැන්පතු හැටියට භාර ගැනීමට නම් එකී සමාගම් මූල්‍ය සමාගම් හැටියට ලියාපදිංචි විය යුතු බව මහ බැංකු අධිපතිවරයා පැහැදිලිව සඳහන් කරයි. එසේ නීති විරෝධීව ලබාගත් මුදල් යළි ඉල්ලා සිටින ලෙස මහ බැංකුව මහජනතාවට ප්‍රකාශ කරයි. එසේ ඉල්ලූ විට මුදල් යළි ලබා නොදෙන්නේ නම් මහ බැංකුවට පැමිණිලි කරන ලෙසද මහා බැංකු ප්‍රධානියා ජනතාවට සිහිපත් කරයි. මෙම ව්‍යාජ සමාගම්වල ලොක්කන් රට පනින්න කලින් ඒවාට මුදල් ලබා දුන් ජනතාව නැවත මුදල් ඉල්ලීමට පියවර ගත යුතුය. මහ බැංකුවද ඒ පිළිබඳ සඳහන් කර තිබෙන හෙයින් ජනතාවට පැකිළීමට කරුණක් නැත. එහෙත් මෙකී ව්‍යාජ සමාගම් පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. බොහෝවිට සිදුවනුයේ ඔවුන් රට පැන ගැනීමය. යළිත් කලකට පසු ඔවුහු වෙනත් ස්වරූපයකින් වංචාව ආරම්භ කරති. එයට හේතුව ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමය. කුමන හෝ සිදුරකින් පැන ගැනීමට හැකි බව ඔවුහු දනිති. එනිසා ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාජ සමාගම්වලට එරෙහිව මෙයට වඩා දැඩි පියවර ගත යුතු බව අපගේ අදහසය.

 

More News..