brand logo
logo
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

01 September 2026

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් 'පිල්ලෙයාන්' සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා ලබන සෙප්තැම්බර් 15 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (01) මාර්ගගත (Zoom) තාක්ෂණය ඔස්සේ නියෝග කළේය.


2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි හිදී TMVP පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතිවු - කරෙයියන්කන්තිවු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.


මෙම පස්ගුණය නඩුවට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන අය 2025 නොවැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් පිල්ලෙයාන්, හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනා සහ ලන්ඩනයේ පදිංචි 'මොහොමඩ් ෆායිස්' නමැත්තා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව 2026 ජූනි 17 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලද අතර, එතැන් සිට සැකකරුවන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

මෙම නඩුව අද (01) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, බන්ධනාගාරයේ සිට මාර්ගගත (Zoom) තාක්ෂණය ඔස්සේ සැකකරුවන් වන පිල්ලෙයාන්, මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන තිදෙනා ඉදිරිපත් කෙරිණි.

කරුණු සලකා බැලූ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් තිදෙනා ලබන සෙප්තැම්බර් 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, ලන්ඩනයේ සැඟව සිටින 'මොහොමඩ් ෆායිස්' නැමැත්තාට එරෙහිව විවෘත වරෙන්තුව (Open Warrant) නැවත නිකුත් කරමින් නඩුව කල් තැබීය.

 

More News..