brand logo
logo
ජීවිතය තරම් වටිනා තවත් දෙයක් නැති බව කියාදෙමු

ජීවිතය තරම් වටිනා තවත් දෙයක් නැති බව කියාදෙමු

14 October 2024

ලංකා වෛද්‍ය සංගමය සඳහන් කර තිබෙන පරිදි මෙරට දෛනික සියදිවි නසාගැනීම් ප්‍රමාණය අටකි. එනම් දිනකට විවිධ හේතු කාරණා පදනම් කරගෙන අට දෙනෙක් පමණ තමන්ගේ ජීවිතයෙන් සමු ගනිති. රටේ ජනගහනය හා සසඳා බලන විට මෙය ඉතාම ඉහළ අගයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. පසුගිය 12 වැනිදා දකුණු පයාගල දුම්රිය ස්ථානයේදී බෙලිඅත්ත කොළඹ දුම්රියේ වැදී ළදරුවකු ඇතුළු තිදෙනෙකු මිය ගිය බව සඳහන් කළද එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැකකරයි. එයට හේතුව කුඩා දරුවාගේ පියා වන විසිඑක් හැවිරිදි තරුණයා දුම්රියට පැන සියදිවි නසාගන්නා බව සඳහන් කරමින් තම නිවසින් පැමිණ තිබීමය. සියදිවි නසාගැනීමේ අනුපාතය අනුව ලංකාව විසිඑක් වැනි තැනට පැමිණ තිබේ.


මනෝ වෛද්‍ය විශේෂඥයකු වන දොස්තර නීල් ප්‍රනාන්දු 2011 වසරේ දී ඉදිරිපත් කළ වාර්තාවක් අනුව වාර්ෂිකව මෙරට හාරදහසක් පමණ සියදිවි නසා ගනිති. ඒ අතරින් බොහෝදෙනා වයස අවුරුදු 15ත් 44ත් අතර පසුවන්නෝය. 1948 වසරේදී මෙරට සියදිවි නසාගැනීමේ අනුපාතය මිනිසුන් ලක්ෂයකට නවයක් විය. 1970 පමණ වන විට එම ප්‍රමාණය ලක්ෂයකට දහනවයක් විය. 1980 දී එය ලක්ෂයකට තිස්තුනක් විය.


ආසියානු කලාපයේ රටවල් අතරින් බංග්ලාදේශය සියදිවි නසා ගැනීම් බහුල රටකි. ලෝකයේ සියදිවිනසා ගන්නා ප්‍රමාණයෙන් එය සියයට දෙකයි දශම බිංදුවයි හයකි. 2007 වසරේදී එකම පවුලේ එකොළොස් දෙනෙක් එරට දුම්රියකට පැන සාමූහික සියදිවි නසා ගැනීමක නිරත වූහ. ඊට බලපා තිබෙන්නේ ඔවුන් දැරූ යම් ආගමික මිත්‍යාමතයකි.


ලෙසතො, දකුණු කොරියාව, ගයනාව ආදී රටවල් සිය දිවි නසා ගැනීම අතරින් මුලට සිටි. දකුණු කොරියාවේ සියදිවිනසා ගැනීම ඉහළ යාමට බෙහෙවින් බලපා තිබෙන්නේ වැඩිහිටි හුදෙකලාව සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන පීඩනයයි. ලංකාවේද පාසල් සිසුන් ඇතුළු සරසවි සිසුන් සියදිවි නසා ගැනීමට යොමුවීමේ යම් වර්ධනයක් දැකිය හැකි බව පසුගිය වසර කිහිපයෙහි පළ වූ තොරතුරු අධ්‍යයනය කිරීමෙන් තේරුම් ගත හැකිය. එකම ජාත්‍යන්තර පාසලක ඉගෙනගත් ශිෂ්‍යාවන් දෙදෙනෙක් සහ සිසුවෙක් කොළඹ උස් ගොඩනැගිලිවලින් පැන සිය දිවි නසා ගත්හ. මෙකී සියදිවි නසාගැනීම්වලට බලපා තිබෙන සැබෑ හේතු සාධක මොනවාදැයි තවම පැහැදිලි නැත. පසුගිය කාලයේ ආගමික අන්තවාදී ඉගැන්වීම් පදනම් කරගෙන පිරිසක් සියදිවි නසා ගත්හ. සමහර සියදිවි නසා ගැනීම් ජානමය වශයෙන් එන පෙළඹීම් යැයි මනෝ වෛද්‍යවරු සඳහන් කරති. එප්පාවල ගමක පවුලක සහෝදර සහෝදරියෝ පස් දෙනෙක් කලින් කලට සියදිවි නසා ගත්හ.


පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කිහිපදෙනෙක්ම පසුගිය අවුරුදුවලදී සියදිවි හානි කරගත්හ. එසේම එම සරසවියෙහි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය හැදෑරූ අවසාන වසරේ සිසුවෙකූ සියදිවි නසා ගැනීම පසුගිය කාලයේ බෙහෙවින් කතාබහට ලක් විය. එයට හේතු වූයේ එම සිසුවා අනෙක් සිසුන්ගේ මානසික ගැටලු විසඳීම සඳහා උපදේශන සේවාවන් සැපයූ කෙනෙකු වීමය. මෙවැනි කරුණුවලින් පැහැදිලි වන්නේ ලංකාවේ සිය දිවි නසාගැනීමේ ගැටලුව අර්බුදයක් දක්වා වර්ධනය වී තිබෙන බවය. එවැනි තැනකට එය වර්ධනය වූයේ ඒ පිළිබඳව එතරම් වගකීම් සහිතව රාජ්‍ය මට්ටමින් සහ පෞද්ගලික මට්ටමින් ගතහැකි පියවර නොගැනීම නිසාය.


කොටි ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් දිනකට මියගිය ප්‍රමාණයට වඩා සියදිවි නසා ගැනීමෙන් මිය යන ප්‍රමාණය ඉහළ යාමෙන් මෙකී අර්බුදයේ තරම තේරුම් ගතහැකිය. මනෝවිද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට විශාදය, ආතතිය ඉහළ යාම සියදිවි නසා ගැනීම්වලට ප්‍රධාන හේතුවකි. විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් ආර්ථික අර්බුදය උග්‍රවීම හේතුවෙන් ආහාරපානවල උද්ධමනය ඉහළ යාම ඇතුළු ආර්ථික ගැටලු හේතුවෙන් සැලකිය යුතු පිරිසක් සියදිවි නසා ගැනීමය. සමහරු ණය බර ගෙවා ගත නොහැකිව දරු පවුල් පිටින්ම සියදිවි නසා ගත්හ. විශේෂයෙන් පිරමීඩ ක්‍රමයට හසුවීම නිසා අසරණ වූ අයද සියදිවි නසා ගත්හ. සියදිවි නසා ගැනීම් ඉහළ යාමෙන් පෙනෙන්නේ අපේ සමාජය භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් කෙතරම් රෝගාතුරව තිබේද යන්නය. බුදුන් වහන්සේ වදාළ පරිදි සියලු සත්වයෝ තමන්ගේ ජීවිතය ප්‍රියකරති. තමන්ට තරම් කිසිවෙක් වෙන කෙනෙකුට ආදරය නොකරති. ප්‍රේම නොකරති. එවැනි පසුබිමක කෙනෙකුට තමන්ට තමන් එපා වීම කෙතරම් නම් එපා වීමක්ද? ආත්ම ද්වේෂයක්ද? තමන් ඇතුළු සියලු සත්වයන්ට මෙත් වැඩීමට උගන්වන දහමක් පිළිගත් රටක සියදිවි නසා ගැනීම් ඉහළ යාම අපගේ අවධානයට ලක්විය යුතුය. බුදුදහම පෙන්වා දෙන්නේ මනුෂ්‍යය ආත්මභාවයක් ලබා ගැනීම ඉතා දුර්ලභ කරුණක් බවය. සියදිවි නසා ගන්නා උදවියද ඒ බව නොදන්නවා නොවේය. එහෙත් බොහෝ තැන්වල අපට සමාජයක් හැටියට වැරදී තිබේ. කෙතරම් වැරදුනද සියදිවි නසා ගැනීම කිසිසේත්ම අපේ ගැටලුවලට විසඳුමක් නොවේමය. හොඳම විසඳුම ජීවත්වීමය. ඕනෑම ගැටලුවක් විසඳා ගැනීමට ජීවත් විය යුතුය. කාලයා විසින් බොහෝ ගැටළු විසඳනුයේය. එනිසා අපි අනෙක් අයගේ ජීවත්වීමටද සහයෝගයක් වෙමින් ජීවත්වීමට උත්සාහ කරමු. අනෙක් අයට සවන් දෙන, ඔවුන් දෙස කරුණාවෙන්, මෛත්‍රියෙන් බලන වටපිටාවක් ගොඩනගමු. මේ කිසි දෙයක් කළ නොහැකි නම් සිනහවෙන් හෝ එකිනෙකාට සංග්‍රහ කරන ජීවිතයකට හුරුවෙමු. ඔබේ සවන්දීම, සිනහව, සියදිවි නසා ගැනීමට මානසික සටනක යෙදෙන කෙනෙකුට ඔසුවක් විය හැකිය.

 

More News..