යාල ජාතික වනෝද්‍යානයට නියඟයෙන් දැඩි බලපෑම්
12 September 2026
යාල ජාතික වනෝද්‍යානයට නියඟයෙන් දැඩි බලපෑම්
12 September 2026
පවතින අධික වියළි කාලගුණය යාල ජාතික වනෝද්‍යානයට දැඩි බලපෑම් එල්ල කර තිබේ.
එවන් පසුබිමක, එහි සත්වයින්ගේ පිපාසය නිවන්නට වනජීවී දෙපාර්තමේන්තුව අපමණ වෙහෙසක් දරනු ලබයි.
මෙරට විශාලත්වයෙන් දෙවන ජාතික වනෝද්‍යානය වන යාල, ඌව සහ දකුණු පළාතට අයත් ගිනිකොණදිග වියළි අර්ධ ශුෂ්ක කලාපයේ පිහිටා තිබේ.
නිදහසේ සරන කොටි දැකගත හැකි ලොව ප්‍රධාන ස්ථානවලින් එකක් ලෙස යාල හඳුන්වාදිය හැකිය.
එය ශ්‍රී ලංකා කොටියා, අලියා, වලසා, මුවා, ගෝනා වැනි ක්ෂීරපායින් විශේෂ 44ක්, පක්ෂි විශේෂ 215ක්, උරග විශේෂ 47ක් සහ මත්ස්‍ය විශේෂ 21කගේ වාසස්ථානයකි.
මෙහි සංචාරක ආකර්ෂණය වැඩිම කාලය අගෝස්තු සිට මාර්තු දක්වා මාස කිහිපය වන අතර මෙවර සංචාරක සමයට මරු පහරක් එල්ලවී ඇත්තේ පවතින එල් නිනෝ තත්ත්වය හේතුවෙනි.
අධික උණුසුම මැද යාල වනෝද්‍යානයේ ඉන්ද්‍රවිල, හඳුන් ඔරුව, යාල වැව, පටනංගල වැව වැනි වැව් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර දර්ශන වැවේ සහ බුතව වැවේ ජල මට්ටම්ද සැලකියයුතු ලෙස අඩුවී තිබේ.
ඒ හේතුවෙන් වනෝද්‍යානයේ සතුන්ට දැඩි පානීය ජල ගැටලුවකට මුහුණදීමට සිදුවී ඇති අතර අධික වියළි කාලගුණය නිසා ගහකොළ, තණබිම් වියළීයාමෙන් ඔවුන් ආහාර හිඟයකට ද මුහුණ දීම ගැටලුවකි.
ඉතිරිවී ඇති දිය කඩිති කරා සතුන් සිය පිපාසය සංසිඳුවා ගැනීමට පැමිණන බව සඳහන්ය.
සීමිත ජල සම්පත් සීරුවෙන් හසුරුවමින් සතුන්ගේ පිපාසය නිවන්නට වනජීවි නිලධාරින් දරන්නේ දැඩි පරිශ්‍රමයකි.
මැණික් ගඟේ ස්ථාන 04කින් සූර්ය පැනල මෝටර යොදාගෙන ලබාගන්නා ජලය භූගත නල හරහා වනෝද්‍යානයේ පොකුණුවලට බෙදාහැරේ.
ඊට අමතරව දෛනිකව ලීටර් ලක්ෂ 02ක පමණ ජල ධාරිතාවක් බවුසර් මගින් රැගෙනගොස් වනෝද්‍යානයේ කෘතිම හා ස්වභාවික පොකුණු පිරවීම ද තවත් කාර්යයකි.
මෙවැනි පසුබිමක අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ආහාර සහ ජලය සොයා යාමේදී සතුන්ට සිදුවන බාධා අවම කිරීම සඳහා මාසයක කාලයක් යාල ජාතික වනෝද්‍යානයේ අංක 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා වසා තැබීමට වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

