brand logo
logo
 'හරක් කටා' ට එරෙහි නඩුව අද යළි කැඳවයි

'හරක් කටා' ට එරෙහි නඩුව අද යළි කැඳවයි

27 May 2024



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලා යෑමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා මේ වනවිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ රදවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට "ස්කයිප්" තාක්ෂණය ඔස්සේ සිය දරුවා සමග කථා කිරීමට අවසර දෙන ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරනු ලැබූ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළ නොහැකි බව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (27) නිවේදනය කළේය.


මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී දැනට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


එම අවස්ථාවේදී විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ආරියදාස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි... මාගේ සේවාදායකයාට අවුරුදු දෙකක පමණ දරුවකු සිටිනවා. මොන ආකාරයේ ප්‍රශ්න තිබුණත් දරුවා සම්බන්ධයෙන් ඔහු ඉතා සංවේදී තැනැත්තෙක්. දරුවා සමග සම්බන්ධයක් නොමැති වීම නිසා විත්තිකරු දැඩි මානසික පීඩනයකට පත්ව සිටිනවා. ඔහු රදවා සිටින තංගල්ල පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලේ ස්කයිප් තාක්ෂණය තිබෙනවා" ඒ අනුව විත්තිකරුට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිය දරුවා සමග සම්බන්ධ වීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


එම අවස්ථාවේදී විනිසුරු දමිත් තොටවත්ත මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " සාමාන්‍ය බන්ධනාගාර රැඳවියෙකුට හිමි පහසුකම් වලට වඩා වැඩි යමක් ඉල්ලා සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ඔහු රදවා සිටින ආයතනයේ ප්‍රධානීන්. ඔවුන් එවැනි පහසුකම් ලබා දීමට එකග වන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගැටලුවක් නෑ." එසේ නොවන අවස්ථාවක මෙවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරිමට අධිකරණයට හැකියාවක් නැතැයි විනිසුරුවරයා සඳහන් කළේය.


ඉන් අනතුරුව මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු නොමැතිව නඩු විභාගය සඳහා සාක්ෂි මෙහෙයවීම සඳහා අධිකරණ දැනටමත් නීතිපතිවරයාට අවසර දී ඇති අතර ඊට අදාළව සාක්ෂි මෙහෙයවීම සඳහා අධිකරණ හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.


ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජුනි මස 06 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කෙරිණි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන සිටියදී ඉන් පලා යෑමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

 

More News..