බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව නිසා මුහුදු ප්රදේශවලට රතු නිවේදනයක්
27 October 2026
බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව නිසා මුහුදු ප්රදේශවලට රතු නිවේදනයක්
27 October 2026
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය සහ දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්රදේශය සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (27) පෙරවරු 8ට නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 12 දක්වා වලංගු වෙයි.
බටහිර - මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති 'ඔර්නබ්' ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ඉතා ප්රබල සුළි කුණාටුවක්' බවට පත්වී අද(27) අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9 සහ නැගෙනහිර දේශාංශ 85.4 ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්ර ගතව පැවතුණි.
මෙය අද (27) දින ප.ව. 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, හෙට වන දින පෙරවරු 11.30 වන විට ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
"අවවාදාත්මක " කාණ්ඩයට අයත් මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 80-140 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැක.
එමෙන්ම මෙම මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් (3.0 - 4.0) ක් පමණ ඉහළයාමේ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්රදේශ ඉතා රළු විය හැක.
එම නිසා උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්රජාවන් ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙනු ලබයි.

