brand logo
logo
චූලාගේ මරණයට විවෘත තීන්දුවක්

චූලාගේ මරණයට විවෘත තීන්දුවක්

01 September 2026

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබේ.


පොලීසිය සඳහන් කළේ, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් දක්නට නොලැබුණු බවයි.


වැඩිදුර විමර්ශන සඳහා මළ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

45 හැවිරිදි චූලා පද්මේන්ද්‍ර මහත්මිය පසුගිය 31 වැනිදා පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.


පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඇය ව්‍යාපාරිකයා සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවත්, 30 වැනිදා බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති ඇය විසින් සංවිධානය කළ උත්සවයකින් අනතුරුව 31 වැනිදා අලුයම ඔහුගේ පිළියන්දල පිහිටි නිවසට පැමිණ ඇති බවත්ය.


පසුව ඇය එහි කාමරයක නින්දට ගොස් ඇති අතර, එදින දහවල් 12.45ට පමණ ඇයව අවදි කිරීමට උත්සාහ කළද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් 1990 ගිලන් රථ සේවය කැඳවා තිබේ.


එහිදී සෞඛ්‍ය සේවකයන් සිදුකළ පරීක්ෂාවේදී ඇය මියගොස් ඇති බව තහවුරු කර ඇත.


මේ අතර, ඇය නිදා සිටි ඇඳ ඇතිරිල්ලක ලේ පැල්ලමක් දක්නට ලැබීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබූ අතර, මියගිය නිරූපණ ශිල්පිනියගේ මවද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


ඒ අනුව මරණය සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.


කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය සිද්ධිය වූ ස්ථානය සහ මළ සිරුර පරීක්ෂා කර තිබේ.


අධිකරණ නියෝග මත කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරී බී.සී.එම්. රුද්‍රිගු මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

More News..