brand logo
logo
කෝටි 150ක් දෑස් අවදියෙන් තැබෙන පාපන්දුවේ මහා රාත්‍රිය

කෝටි 150ක් දෑස් අවදියෙන් තැබෙන පාපන්දුවේ මහා රාත්‍රිය

18 July 2026 | නදුන්ක නෙත්සර සසිත සේනානායක


පුරා මසකුත් සතියක් මුළුල්ලේ පැවැති මෙලෝ තලයේ දැවැන්තම ක්‍රීඩා මංගල්‍යය අද රාත්‍රියෙන් (ශ්‍රී ලංකාවේ අපට නම් හෙටට යෙදෙන 20 වැනිදා අලුයම) නිමාව දකින්නේය. ඒ ඉතිහාසයේ පළමුවරට ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ කණ්ඩායම සහ අංක දෙක කණ්ඩායම් අතර යෙදුණු ජගත් පාපන්දු අවසන් ගැටුමක් වීම සුවිශේෂීය. 23වැනි වරට පැවැති මෙවර පාපන්දු ලෝක කුසලානය සංඛ්‍යාත්මකව ගත් කළ සියලු අංශයන්ගෙන් අතීත ලෝක කුසලාන තරගාවලි දත්ත සියල්ල පරදද්දී, පුවත් මැවීමෙන්ද මෙවර ලෝක කුසලාන අතීතයේ ඒ කිසිවකට දෙවැනි නොවීය.


කෝටි 26,000ක සල්ලි ගසක් සහ මුද්දක්


ඇමරිකාව, කැනඩාව සමගින් මෙක්සිකෝව සත්කාරකත්වය දැරූ මෙවර ලෝක කුසලානට කණ්ඩායම් 48ක් තරග වදිමින් ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සහභාගිත්වය සනිටුහන් කරද්දී, එයට තරග 104ක් නරඹන ප්‍රේක්ෂක සංඛාව බිලියන 5ත් 6ත් අතර බව පැවසේ. එයට වැඩිම දායකත්වයක් අවසන් මහා තරගයෙනි. ෆීෆා පුරෝකථන අනුව නිව් යෝර්ක් හී නිව් ජර්සි පිටියේ පියවි ඇසින් අවසන් සටන නරඹන 80,000ක් දෙනාට අමතරව ලොව සිව් දෙස සිට නැරඹීට සැදී පැහැදී සිටින පාපන්දු ලෝලීන් ගණන කෝටි 150කි. මෙම සුවිශේෂී අවසන් සටනේ විජයග්‍රාහීන් සඳහා මෙවර හිමිවන ත්‍යාගයද ලෙහෙසි පහසු නැත. ඩොලර්වලින් නම් මිලියන 50කි. අපේ මුදලින් නම් කෝටිම 1680කි. සමස්ත තරගාවලිය තුළ කණ්ඩායම් අතරේ බෙදාහැරෙන ත්‍යාග මුදල ඩොලර් මිලියන 871කි. එය ශ්‍රී ලංකා රුපියල්වලින් නම් ‍කෝටි 26,130කි.


මෙවර ජයග්‍රාහකයන් සඳහා තවත් සුවිශේෂී ත්‍යාගයක් හිමිය. ඒ ඇමරිකානු ක්‍රීඩා සංස්කෘතිය තුළ එන ජයග්‍රාහකයන්ට තිළිණ කෙරෙන 'මුද්ද' ලෝක පාපන්දු ක්‍රීඩාවට ගෙන ඒමකි. මෙවර ලෝක කුසලාන දිනා ගන්නා කණ්ඩායමේ සියල්ලට පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ශූරතා මුද්දක් හිමි වේ. එහි එක් පැත්තක ලෝක කුසලාන සනිටුහන් කරන අතර අනෙක් පස ජයග්‍රාහී කණ්ඩායමේ අනන්‍යතාව ලකුණු කරන්නට නියමිතය. සීමිත සංස්කරණයක් ලෙසින් නිමවෙන මෙම මුදු ගණන 2026කට සීමා වන අතර එයින් 30ක් ජයග්‍රාහී කණ්ඩායමට වෙන් වද්දී, ඉතිරි 1996 පිරිනැමෙනුයේ වාසනාවන්ත පාපන්දු ‍රසිකයන් වෙතය.


අනාවැකි අනුව වැඩි බර ස්පාඤ්ඤයට


දත්ත සහ වි‍ශ්ලේෂණ තාර්කිකව සැසඳූ විට අද අවසන් මහා සටන ජයගැනීමට වැඩි සම්භාවිතාව ඇත්තේ ස්පාඤ්ඤයට බව පැවසේ. එය සියයට 58.2ක් වන අතර ආර්ජන්ටිනාව පිට පිටම දෙවැනි ලෝක කුසලාන හිමිකරගැනීමට ඇති සම්භාවිතාව සියයට 41.8කි. සමස්ත තරගාවලිය පුරා දැක්වූ අතිවිශිෂ්ට සාමූහික ක්‍රීඩා විලාශය (කණ්ඩායම් හැඟීම) සහ අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය 2-0ක් ලෙස පරාජය කරමින් දැක්වූ දක්ෂතාව ආදිය මගින් මෙවර කුසලානය දිනා ගැනීමේ වැඩි සම්භාවිතාව ස්පාඤ්ඤයට හිමි කර දී තිබේ. නමුත් වත්මන් ලෝක ශූරයන් වන ආර්ජන්ටිනාව, පිළිමළුන් පිටුදැකීමේ තරගවල කණ්ඩායම් 32 වටයේ සිට අවසන් මහා තරග වරම දිනාගැනීම දක්වාම ලැබූ පෙරළිකාර සහ සටන්කාමී ජයග්‍රහණ අනුව මෙන්ම ආර්ජන්ටිනාවේ අත්දැකීම් බහුල සංචිතය නිසා වාසනාව මෙන්ම ක්ෂණික පෙරළියක හැකියාව ඇත්තේද ආර්ජන්ටිනාව සතුව බව කියැවේ.


අද සටන ගැන විශේෂඥ අනුමාන


මෙවර ලෝක කුසලානේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් ලොව වඩාත් ප්‍රසිද්ධ පාපන්දු විචාරකයන් සහ ක්‍රීඩා අනැවකිකරුවන් කිහිප දෙනෙකුද ඉතා තාර්කික අනාවැකි පළ කර තිබේ.


ලෝක පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම සහ අතිදක්ෂතම ප්‍රහාරක ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් ප්‍රමුඛ පෙළේ පාපන්දු විචාරකයෙක් වන ඇලන් ශියරර්ට අනුව ස්පාඤ්ඤයේ මැදපෙළ ක්‍රීඩා විලාශය සහ පන්දුව පාලනය කරගැනීමේ හැකියාව මෙවර තරගාවලියේ සෙසු කණ්ඩායම් හා සසඳන විට ඉහළම මට්ටමක පවතියි. ඒ අනුව ස්පාඤ්ඤය ගෝල 2-1කින් තරගය ජය ගැනීමට වැඩි ඉඩක් ඇති බව ඔහුගේ පුරෝකථනයයි.


මැන්චෙස්ටර් ක්‍රීඩා සමාජයේ කැපී පෙනෙන තරුවක් වූ මෙන්ම වත්මන් ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන ගැරී නෙවිල්ගේ දකින අයුරින්, විශේෂයෙන්ම එංගලන්තය සමග අර්ධ අවසන් පූර්ව තරගයද සමග ආර්ජන්ටිනාව අවසන් මහා තරගය තෙක් පැමිණි ගමන වඩාත් දුෂ්කර සහ ආක්‍රමණශීලී වූවක් බැවින් ඔවුන් සතු මානසික ශක්තිය ඉතා ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත්, ස්පාඤ්ඤයේ ලැමින් යමාල් සහ නිකෝ විලියම්ස් වැනි ක්‍රීඩකයින්ගේ වේගය පාලනය කිරීම ආර්ජන්ටිනා පසුපෙළට දැඩි අභියෝගයක් වනු ඇති බව ඔහුගේ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වේ.


එංගලන්ත පාපන්දු ඉතිහාසයේ සහ ලිවර්පූල් පාපන්දු සමාජයේ අතිශය ගෞරවයට පාත්‍ර වූ හිටපු සුපිරි මැද පෙළ ක්‍රීඩකයකු මෙන්ම වර්තමානයේ ලොව ජනප්‍රියම පාපන්දු විචාරකයකු වන ජෙමී කැරගර් තරමක් වෙනස් අනාවැකියක් පළ කරන්නේය. ඔහුට අනුව මෙම තරගය නියමිත කාලය තුළ මෙන්ම අතිරේක කාලයේදීද ජය පරාජයකින් තොරව අවසන් වී, දඬුවම් පහර කරා යාමට විශාල සම්භාවිතාවක් ඇත. එහිදී පීඩනය දරාගැනීමේ හැකියාව සහ ගෝල් රකින්නන්ගේ දක්ෂතාවය මත සාපේක්ෂව ආර්ජන්ටිනාවට තරමක වැඩි වාසියක් හිමිවනු ඇති බව ඔහුගේ මතයයි.


අවසන් සටනේ දෛවෝපගත හමුවීම්


ඇතැම් ක්‍රීඩා සටන් පුදුමාකාරය. මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයද එවැන්නකි. එක් පසෙකින් ලෝක පූජිත ක්‍රීඩක ලියොනල් මෙසී ද, අනෙක් පසෙන් මින් වසර 19කට පෙර ඔහු අතින් නැහැවුණු ස්පාඤ්ඤයේ ප්‍රබල ක්‍රීඩක ලමීන් යමාල් ද වෙති. මේ කතාවට එන්නට පෙර අප මේ වනවිට මෙවර තරගාවලියේ කතානායකයා බවට පත්ව සිටින ආජන්ටිනා නායක ලියොනල් මෙසීගෙ ස්පාඤ්ඤ සම්බන්ධය ගැන දැනගත යුතුමය.


1987 උපන් මෙසී ආර්ජන්ටිනා කනිෂ්ඨ පාපන්දු පිටියේ 'අසූ හතේ ගෝල් මැෂිම' යන අන්වර්ථ ලැබීමට තරම් හපනෙක් වුවද වයස 10-11 පමණ කාලයේදී මෙසීට ශරීරයේ 'වර්ධන හොමෝන ඌනතාව' නම් තත්ත්වයක් ඇති වන්නට විය. එය තවත් ව්‍යාකූල වූයේ ආජන්ටිනාවේ ඔහුට ඇල්ම දැක්වූ ක්‍රීඩා සමාජ ඔහුගේ ප්‍රතිකාර සඳහා වියදම් දැරීමට ඉදිරිපත් නොවීමත් සමගිනි.


මේ සියල්ල මැද 2000 වසරේ මෙසී ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයෙන් පාපන්දු පරීක්ෂණයක් වෙත ආරාධනා හිමිවිණි. එහිදී ඔහුගේ ඉහළ දක්ෂතා දුටු ක්‍රීඩා සමාජය ඔහුගේ වියදම් දැරීමට සිය කැමැත්ත පල කළේය. ඒ අනුව 2001 වසරේ මෙසීගේ පවුලම ස්පාඤ්ඤය වෙත සංක්‍රමණය වූහ. බාසිලෝනා ක්‍රීඩා සමාජයේ 'ලා මැසියා' තරුණ පුහුණු පාසලේ පුහුණුව ලබමින් ඉහළ දස්කම් දැක්වීමට මෙසී සමත් වූයේය. අනෙක ක්‍රීඩකයන්ට සාපේක්ෂව ඔහු උසින් අඩු වූවෙකු වුව ද, වේගවත් පන්දු පාලනය, නිවැරදි පහරදීම, ක්ෂණික දිශා වෙනස් කිරීම සහ ක්‍රීඩාව තේරුම් ගැනීම පිළිබඳ ඔහු සතුවූ හැකියාව ඔහුව විශිෂ්ටයෙකු කිරීමේ අඩිතාලම සැපයූහ.


කාලයාගේ ඇවෑමෙන් මෙසී ගැන මතක සමස්ත ආර්ජන්ටිනා පාපන්දුවට අමතකව ගියද, බාසිලෝනා හී 'පන්දුව සමග රඟන' යෞවනයකුගේ වීඩියෝපටයක් අහම්බයෙන් මෙන් ආර්ජන්ටිනා කණ්ඩායමේ සහය පුහුණුකරුවෙක් අතට පත්වීමත්, ඒ අතිවිශිෂ්ට යොවුන් කෞෂල්‍යය දක්වන්නේ ආර්ජන්ටිනාවේ උපන් 'මෙසී' නම් අයෙකු බව දැන, ඉතා සූක්ෂම මෙහෙයුමක් මගින් මේ යෞවනයා සොයාගෙන පමණක් නොව, ඔහු වෙනුවෙන්ම යොවුන් ජාත්‍යන්තර තරගයක් යොදාගනිමින්, ස්පාඤ්ඤ පුරවැසිභාවය සමගින් එරටට අයත්වීමට ඔන්න මෙන්න කියා සිටි මෙසීව ආර්ජන්ටිනාවට 'සින්නක්කරවම' ලියාගත් කථාවද අපූරුය. එසේ නොවන්නට අද අවසන් මහා තරගයේදී මෙසීව දැකගතහැකිවනුයේ ස්පාඤ්ඤ ජර්සිය හැඳ සිටින ක්‍රීඩකයෙක් ලෙසින් වීමට තිබිණි.


අද තරගයේදී මෙසීගේ ප්‍රබලම ප්‍රතිවාදියා බවට පත්වන ලමීන් යමාල් හා මෙසී සමගින් බැඳුණු කතාව සිදුවන්නේ 2007දීය. එය අනාගත පුරාවෘත්ත දෙකක හමුවක් කිවහොත් වඩා නිවැරදි වනු ඇත. එවක මෙසී 20 හැවිරිදි තරුණයෙකි. යමාල්ට යන්තමින් මාස 5ක් හෝ 6ක් වන්නට ඇත. එක්සත් ජාතී⁣න්ගේ ළමා අරමුදල සහ බාසිලෝනා එක්ව පුණ්‍ය දින දර්ශනයක් නිර්මාණය කෙරුණු අතර දිනුම් ඇදීමකින් මේ සඳහා දරුවන් තෝරා ගැනුණි. එයට බාසිලෝනාව අව⁣ට සිටි යමාල්ගේ මාපියන්ද ඉල්ලුම් කිරීමෙන් පසු එහි දිනුමක් ලැබීමට ඔවුහු වාසනාවන්ත වූහ. කෙසේ හෝ විසි හැවිරිදි නාඹර මෙසී සමස් හැවිරිදි දඟකාර යමාල් සිය දෝතින් ගෙන මෙම ඡායාරූපයන්ට පෙනී සිටියේලු.


ඉතින් එදා මෙසී දෑතින් වඩා සිටි කුඩා සුහුඹුලා අද එකුන් විසි වියෙහි වියෙහි නාඹර ගැටයෙකි. ඊටත් වඩා ඔහු දැන් මෙසීට විරුද්ධව ස්පාඤ්ඤය නියෝජනය කරමින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සූදානමින් සිටියි. එසේම මෙසී ද තමන්ට සෙවණ දුන් ස්පාඤ්ඤයෙන් පාපන්දු කුසලානය උදුරා ගැනීමට සූදානමිනි. ස්පාඤ්ඤට එරෙහිව ආජන්ටිනාව වෙනුවෙන් ⁣තෙවරක් සටන් වැදුණු මෙසී දැන් ලෝක කුසලාන මහ සටනේ සිය ඉහළම අභිප්‍රාය මුදුන්පත් කරගැන්මට සූදානමිනි.


මේ සියල්ල මැද අංක '19' කතාවක් ද කරළියට පිවිස තිබේ. මූලය මෙසී සහ යමාල්ගේ සේයාරුවයි. එය ඡායාරූපයට නැගෙන්නේ මින් වසර '19'කට පෙරය. එවකට මෙසීගේ ⁣බාසිලෝනා ජර්සි අංකය ද '19' විය. එසේම මේ වන විට මෙසී අතින් නැළවුණු යමාල්ට වයස අවුරුදු '19'කි. ඔහුගේ ජර්සි අංකය ද '19' වෙයි. ඒ සැම මැද මෙවර පාපන්දු අවසන් මහා තරගය පැවැත්වෙන දිනය ද '19' දෛවෝපගත යැයි අංකවලින් කියවන්නෝ විශ්වාස කරති.


ඉතින් මේ සටනින් කුමකින් කුමක් වේදෝයි දැක බලාගන්නට ලොවක් දෑස් අයා සිටින්නේ මෙරට වේලාවෙන් හෙට මැදියම් රෑ 12.30ට තරගයේ ආරම්භය සනිටුහන් වන තුරුය.



 

More News..