brand logo
logo
කාමරවල චිත්‍රපට පෙන්වීමෙන් දුරාචාර වැඩිවෙලා

කාමරවල චිත්‍රපට පෙන්වීමෙන් දුරාචාර වැඩිවෙලා

29 October 2026 | අශිකා ජයවීර


රැඟුම් පාලක මණ්ඩලයෙන් කිසිදු අවසරයක් නොමැතිව වෙනත් ස්ථානවල චිත්‍රපට පෙන්වීමට කිසිදු අයිතියක් නොමැති බවත් එලෙස චිත්‍රපට පෙන්වීමෙන් චිත්‍රපට කර්මාන්තයට මෙන්ම සමාජයට ද විශාල හානියක් සිදුවන බවත් චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය පවසයි. 


වර්තමානය වන විට චිත්‍රපට ශාලාවලට අමතරව අනීතික ආකාරයෙන් චිත්‍රපට පෙන්වන කාමර බිහිව තිබෙන අතර මෙම ස්ථානවල සිදුකරන්නේ චිත්‍රපට පෙන්වන මුවාවෙන් විවිධ දුරාචාර සිදුකිරීම බවත් මෙම සංගමයේ සභාපති අනුරාධ බී. රැකව කියා සිටියේය.


මෙම චිත්‍රපට පෙන්නන කිසිදු කාමරයක් චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි වූ ඒවා නොවන අතර මෙම කාමරවල චිත්‍රපට පෙන්වීමේදී ඔවුන්ට කිසිදු බද්දක් ගෙවීමට අවශ්‍යව නොමැති බැවින් එයින් මෙවැනි අනීතික ක්‍රියාවල යෙදෙන්නන් තවත් ඒ සඳහා යොමුවන බවත් ඔහු පෙරේදා [28 වැනිදා] කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී රැකව මෙසේ ද පැවසුවේය.


''අනීතික ලෙස චිත්‍රපට කාමර තුළ පෙන්වීම නිසා සිනමා ශාලා කරුවන් විශාල අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. මෙම චිත්‍රපට පෙන්වීමේදී කිසිම බද්දකට අසුවෙන්නේ නෑ. ඒ වගේම අපි සිනමා ශාලවල පෙන්නන චිත්‍රපටත් එම කාමර ඇතුළේ පෙන්වීම නිසා විශාල ගැටලුවකට පත්වෙලා තිබෙනවා. අපි ප්‍රදර්ශනය කරන නවතම දමිළ චිත්‍රපටය එම කාමර තුළ පෙන්වනවා කියලා අපිට තොරතුරු ලැබීලා තිබෙනවා. චිත්‍රපට පෙන්නනවා කියලා මුවාවෙන් වෙනත් වැරැදි දේවල් ස්ථානවල සිද්ධකෙරෙනවා. මේ ගැන සොයා බලා කටයුතු කරන්න කියලා කියනවා. චිත්‍රපට සංස්ථාවේ පනත හදලා තියෙන්නේ එක්දාස් නවසිය හැත්තෑ එකේ අලුත් කෙටුම්පත හැදනවා කියලා කියනවා ඒකාව බාලගිරි දෝෂය හැදිලා තිබෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා කොළඹින් පිට සිනමා ශාලාවලවල බද්ද අඩු කරන්න කියලා. මේ අනීතික විදියට පෙන්වන තැන්වල ඇත්තටම රසවින්දයට මුල්තැන දෙන අය නෙමේනේ එන්නේ. අපි දන්නෙ නැහැ මේ තැන්වලට ඉස්කෝලේ යන ළමයි එනවද කියල. ඉතාමත් වැරැදි කටයුත්තක් මේව පවත්වාගෙන යන අය කරන්නේ. අපේ චිත්‍රපට ශාලාවලත් තියනවා වෙනම නිදහසේ බලන තැන් ඒ තැන්වල තියෙන්නේ චිත්‍රපට තිරය හොඳට පෙන්න විවෘතව තියෙන තැන්, දැන් මේ අලුත් තැන්වල චිත්‍රපට පෙන්වන්නේ කාමරේ ලෝක කරගෙන, මේවට එන්නේ කපල් එකක් නැත්නම් කොල්ලෝ ටිකක් අපි දන්නේ නැහැනේ මේවා ඇතුළේ මොනවාද වෙන්නේ කියල. සමාජ විරෝධී වැඩවෙන්න පුළුවන්. මේවා සම්බන්ධයෙන් තීරණයක් ගන්න කියල අපි චිත්‍රපට සංස්ථාවෙන් ඉල්ලනවා.


චිත්‍රපට පනතේ රෙගුලාසිවලට අනුකූලව තමයි මේ චිත්‍රපට ශාලා පවත්වාගෙන යන්නේ. ඒ වගේම අපි සියයට තිස්පහක බදු මුදලක් චිත්‍රපට සංස්ථාව ගෙවනවා ඒකෙන් මුදලක් රජයට යනවා එහෙත් සිනමා කාමරවලින් කිසිදු බදු මුදලක් රජයට යන්නේ නෑ. එම නිසා කඩිනමින් මේ ගැන සොයා බලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි මේ ඉල්ලන්නේ සමාජයට ඉදිරියට වෙන්න යන මහා විනාසයක් වළක්වගන්න කියල. ඒ වගේම කියන්න ඕනේ මේ ස්ථානවල පෙන්වන සමහර ෆිල්ම් මේ දවස්වල හොල්වල පෙන්වන අලුත්ම ෆිල්ම්. අපි අහන්නේ කිසිම අවසරයක් නැතුව එහෙම අලුත්ම ෆිල්ම් පෙන්වන්නේ කොහොමද මේ අනීතික තැන්. අපි ලොකු ගණන් දීලා වෙන රටවල්වලින් ෆිල්ම් ගෙනල්ල පෙන්වනවා නීත්‍යනුකූල විදියට. නමුත් අපි කියන්නේ මේ සිනමා කාමර කරන අය අපෙන් ෆිල්ම් කොපි කරලා පෙන්වනවා. බදු ගෙවන්නේ නැහැ ඒත් සල්ලිත් හොයනව. නමුත් සමාජයට කරන්නේ විශාල හානියක්.

 

More News..