brand logo
logo
නව රියදුරු බලපත්‍ර දඬුවම් ලකුණු ක්‍රමයේ නියමු ව්‍යාපෘතියක් ඇරඹේ

නව රියදුරු බලපත්‍ර දඬුවම් ලකුණු ක්‍රමයේ නියමු ව්‍යාපෘතියක් ඇරඹේ

18 October 2026

නිතර මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඬුවම් දීම සහ මහජනතාව ඒ පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගනිමින්, නව රියදුරු බලපත්‍ර දඬුවම් ලකුණු ක්‍රමයේ නියමු ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ.


ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.


මෙම මාස හයක නියමු ව්‍යාපෘතිය 2027 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන අතර, රියදුරෙකු සිදු කරන වරදේ ස්වභාවය අනුව ලකුණු එකතු වේ.


මෙම ලකුණු සංඛ්‍යාව 30 දක්වා ළඟා වූ විට පද්ධතිය මඟින් රියදුරු බලපත්‍රය ස්වයංක්‍රීයව අත්හිටුවනු ලබයි.

දඬුවම් ලකුණු ක්‍රමයේ ප්‍රධානතම පියවරයන්

බලපත්‍රය අත්හිටුවීම - බලපත්‍රය අත්හිටුවූ පසු ළඟම ඇති පොලිස් ස්ථානයට එය භාරදිය යුතුය.


කාලය අඩු කරගැනීමට අවස්ථාව - සාමාන්‍යයෙන් වසරක කාලයකට බලපත්‍රය අහිමි වන නමුත්, නියමිත පුහුණු වැඩසටහන් සාර්ථකව අවසන් කිරීමෙන් එම කාලය මාස තුනක් දක්වා අඩු කරගත හැක.

කෙටි පණිවුඩ දැනුම්දීම - රථවාහන වරදකට අදාළ දඩ මුදල් ගෙවීමෙන් පසු, එම වරද වෙනුවෙන් ලකුණු එකතු වන බවට රියදුරුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් (SMS) යැවීමට නියමිතය.

අරමුණ - මහජනතාව බිය ගැන්වීම නොව, නීතිවලට අනුකූලව කටයුතු කිරීමට රියදුරන් දිරිගැන්වීමයි.

රියදුරු බලපත්‍ර සහ වාහන අංක තහඩු මුද්‍රණ ප්‍රමාදයන්ට පිළියම්

රියදුරු බලපත්‍ර කාඩ්පත් සහ වාහන අංක තහඩු මුද්‍රණය කර නිකුත් කිරීමේ පවතින දැඩි ප්‍රමාදය ද මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට ලක් විය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මුද්‍රණ යන්ත්‍ර සහ හිස් කාඩ්පත් හිඟවීම හේතුවෙන් දැනට රියදුරු බලපත්‍ර කාඩ්පත් 673,000ක පමණ ගොඩ ගැසීමක් පවතින බවයි.

ජනවාරි වන විට ඇණවුම් කළ කාඩ්පත් මිලියනයක තොගය අවසන් වන අතර, ලබන වසරේ මැද භාගය වන විට මෙම ප්‍රමාදය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම, 2025 ජනවාරි 01 සිට 2026 මාර්තු 09 දක්වා වාහන අංක තහඩු 958,651ක පමණ විශාල ප්‍රමාදයක් පවතින බවත්, අදාළ කොන්ත්‍රාත්කරු හරහා මාස 7ත් 8ත් අතර කාලයක් තුළ එම ප්‍රමාදය ඉවත් කර ගැනීමට හැකි වනු ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.

විශේෂ වාහන ලියාපදිංචි අංක සහ පුද්ගලීක අංක තහඩු

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ වාහන හිමියන්ගේ විශේෂ කැමැත්තට අවස්ථාව සැලසීම අරමුණු කරගනිමින්, විශේෂ වාහන ලියාපදිංචි අංක සහ පුද්ගලීක අංක තහඩු නිකුත් කිරීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා විය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ප්‍රථම එහි තාක්ෂණික, නීතිමය සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ එරංග ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

 

More News..