brand logo
logo
සවල් පහරකින් නිමාවූ බලු වලිය

සවල් පහරකින් නිමාවූ බලු වලිය

31 October 2026 | අනීෂා මානගේ

තංගල්ල නලගම පාරේ පදිංචිව සිටින අන්ද්‍රාහැන්නදිගේ පවුලේ බාලයා ටැංගෝ යැයි කීවද වැරැදි නැත. ඒ අන්ද්‍රාහැන්නදි පවුලේ සාමාජිකයන් බූලිට ඒ තරමට ආදරය කළ නිසාය. ඇමරිකානු බූලි වර්ගයේ සුනඛයකු වූූ ටැංගෝ ඒ පවුලට එකතු වන්නේ අදින් තෙවසරකට ඉහතදීය. එදා පටන් පවුලේ බාල පුතුගේ තැන දිනාගත්තේ ටැංගෝය. හැඩිදැඩි කඩවසම් පෙනුමත් දඟකාරකමින් කිසිදු අඩුවක් නැති ‘ටැංගෝ’ පවුලේ සියල්ලන්ගේම පමණක් නොව අසල්වැසි හිතවතුන්ගේද නොමද ආදරය දිනාගත්තේ නිවෙසේ අණසක තමන් සතු කරගනිමින් ය.


අන්ද්‍රාහැන්නදිගේ පවුලේ වැඩිමහලු දරුවා චතුර ශ්‍රීමාල් ය. චතුර සහ ඔහුගේ මල්ලි දෙදෙනා මාස කිහිපයකට ඉහතදී දුරු රට රැකියාවකට යාමට සූදානම් වූහ. පවුලේ සුරතලා වූ ‘ටැංගෝ’ ගේ වැඩ රාජකාරි බොහෝමයක් ඉටු කළේ චතුර සහ මල්ලිගේ අතින් ය. චතුරලා විදෙස්ගත වූ හෙයින් ටැංගෝ බලාකියා ගන්නා රාජකාරි කටයුතු චතුරගේ තාත්තාට පැවරුණේය. දඟකාර ටැංගෝ අම්මාටත් තාත්තාටත් කීකරුවී හොඳින් හැදුණේය. ඉකුත් අගෝස්තු මාසයේදී ටැංගෝගේ එක් ඇසක් ළඟ තුවාලයක් හටගත්තේය. එයට බෙහෙත් කරන රාජකාරියද තාත්තාට පැවරුණේය. ඔහු පශු වෛද්‍යවරයකුට ටැංගෝව පෙන්වා බෙහෙත් ගෙනාවේය. තුවාලයේ ගෑමට බෙහෙත් ක්‍රීම් වර්ගයක් ලැබුණේය. තුවාලයේ වේදනාව වැඩි වී ටැංගෝට බෙහෙත් ගෑමට ගිය තාත්තාගේ අත හැපුවේය. අත තුවාල වුණේය. එයට බෙහෙත් කරන්නට වුණේය.


මේ හේතුවෙන් ටැංගෝ රැක බලාගන්නට තාත්තාට අසීරු වුණේය. ගෙදර උදවිය කල්පනා කළේ තාත්තා සුවවනතුරු ටැංගෝ, සුනඛයන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක නතර කරවීමටය. මීට පෙර අවස්ථාවකදීද ටැංගෝ සුනඛයන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක සතියක කාලයක් රැඳී සිටි හෙයින් එය ටැංගෝට අලුතින් හුරු කරවන්නට වුවමනා නොවීය.


එදා මෙන්ම මෙවරද ටැංගෝ නතර කිරීමට තීරණය කෙරුණේ කටානේ පිහිටි සුනඛයන් රැකබලා ගන්නා තැනකය. තංගල්ලේ සිට කටානට බොහෝ දුර වුණත් ටැංගෝ ආරක්ෂිතව රඳවා තබන්නට ගෙදර උදවියට වුවමනා විය. මේ ආයතනය සුනඛයකු රඳවා ගන්නට එක් දිනක් වෙනුවෙන් රුපියල් දෙදහසක මුදලක් අය කරන්නේය. එයට අමතරව සුනඛයන් නෑවීමටත් එන්නත් කරන්නේ නම් ඒවාටත් වෙනම ගාස්තුවක් අය කරන්නේය. ගාස්තු බොහෝ ඉහළ වුණත් පවුලේ සාමාජිකයකු වන් සුරතලාගේ ආරක්ෂාව වෙනුවෙන් වියදම් දරන්නට අන්ද්‍රාහැන්නදිගේ පවුලේ උදවිය දෙවරක් නොසිතූහ. ටැංගෝ, මේ ආයතනයට රැගෙන ගියේ ඉකුත් අගෝස්තු 27 වැනිදා ය. ටැංගෝ වෙනුවෙන් රුපියල් හැටහතරදහසක ගාස්තුවක් පවුලේ වැඩිමලා වූ චතුර ශ්‍රීමාල් ගෙවා දැමුවේය.


හිටිහැටියේ දිනෙක සුනඛයන් රැකබලා ගැනීමේ ආයතනයේ හිමිකරුගෙන් චතුරට වට්ස්ඇප් පණිවුඩ කිහිපයක් ලැබී තිබුණේය. ටැංගෝගේ ඉරණම අවාසනාවකට පෙරළුනේ එදා සිටය. මේ ඒ ගැන චතුර කියන කතාවය.

“අපේ ටැංගෝ එතන හිටපු තව සතෙක් එක්ක රණ්ඩුවට ගිහිල්ලා. මේ දෙන්නගෙ රණ්ඩුව බේරන්න ටැංගෝගෙ ඔළුවට ගහලා එයාට තුවාලයි කියලා මට මැසේජ් එකක් දාල තිබුණා. මට ටැංගෝගෙ ෆොටෝ එවල තිබුණා. කියපු විදියට ලොකු අමාරුවක් අපි දැක්කෙ නැහැ. ටැංගෝට බෙහෙත් කරන්න අරන් ගියා කියලත් කිව්වා. දවස් දෙකකට පස්සෙ තාත්තලා ටැංගෝව බලන්න ගියා. එදාත් ටැංගෝ ඩොක්ටර් ළගට අරන් ගිහින් තිබුණා. එදා තාත්තා ගියාට පස්සෙ තමයි අපි දන්නෙ ටැංගෝට ගොඩක් අමාරුයි කියලා. එයාලා ටැංගෝට ගහල තියෙන්නෙ සවලකින් කියල මම පස්සෙ දැනගත්තෙ.. ” චතුර කියන්නේය.

චතුරලාගේ පවුලේ උදවිය ටැංගෝ දකින විට ටැංගෝ බොහෝ අසාධ්‍ය තත්ත්වයෙන් සිට ඇත්තේය. ටැංගෝගේ හිසේ තුවාලවලට ප්‍රතිකාර කරන අතරේදී ටැංගෝට තවත් ශල්‍යකර්මයක් කර තිබුණේය. ඒ, වඳ සැත්කමක් ය. ටැගෝට වඳ සැත්කමක් කරමු යැයි චතුරලාට මීට ඉහතදී කිහිප වාරයක් ආයතනයේ හිමිකරු යෝජනා කර තිබිණි. ඊට හේතුව ඔවුන් කියන හැටියට ටැංගෝගේ කලහකාරි හැසිරීම් පාලනය කරන්නට නම් වඳ සැත්කමක් කළ යුතු වීමය. එහෙත් චතුර එයට අකැමැති වූයේය. ඔහුට වුවමනා වුණේ ටැංගෝට තවත් මිතුරියක් ගෙනැවිත් දෙන්නටය. හැරත් චතුර කියන හැටියට ටැංගෝ යැයි කියන්නේ අහිංසකයෙක් ය. ටැංගෝට වඳ සැත්කමක් කර දුක් දෙන්නට චතුර අකැමැති වී ඇත්තේ ඒ නිසාය.

කෙසේ නමුදු ටැංගෝගේ හිසට ප්‍රතිකාර කළදා ආයතනයේ හිමිකරු චතුරට දුරකථන ඇමතුමක් ගෙන ඇත්තේ එදා වඳ සැත්කම කරන්නදැයි අවසර ගැනීමටය. ඒ, බෙහෙත් කරන්නට ටැංගෝ නිර්වින්දනය කරන අවස්ථාවේදීම සැත්කමද කළ හැකි බව දන්වන්නටය. ඒත් ටැංගෝගේ අවාසනාවට එදා චතුරට දුරකථන ඇමතුම මඟ හැරුණේය. ඒ ඇමතුම චතුරගේ මල්ලිටද ආයතනයේ හිමිකරු ගෙන තිබුණේය. පශු වෛද්‍යවරයාද ටැංගෝගේ වඳ සැත්කම ගැන කරුණු කී බවට ආයතනයේ හිමිකරු කී හෙයින් මල්ලි එයට කැමැත්ත පළ කර ඇත්තේය. ඉදින් තුවාල වී අසීරුවෙන් සිටි ටැංගෝට තවත් සැත්කමක්ද කර තිබුණේය.

දින කිහිපයක් යනතුරු ටැංගෝගේ ප්‍රතිකාර කටයුතු වෙන ආකාරය ගැන වීඩියෝ චතුරට යවා තිබුණේය. දිනක් සුනඛයන් රැකබලා ගැනීමේ ආයතනයේ හිමිකරු කියා ඇත්තේ ටැංගෝ අධික ලෙස වතුර පානය කිරීම නිසා උගේ වකුගඩු පරීක්ෂා කළ බවත් ටැංගෝ වකුගඩු රෝගයෙන් පෙළෙන බවට එහිදී තහවුරු වී ඇති බවය. එතැන් පටන් ටැංගෝගේ වකුගඩුවලටද බෙහෙත් කරන්නට ආරම්භ කෙරුණේය. සැත්කමෙන් වූ තුවාලයද ආසාධනය වී ඇත්තේය. ටැංගෝගේ සෞඛ්‍ය එන්න එන්නම නරක අතට හැරුණේය. වේදනාව වචනවලට පෙරළා කියන්නට නොහැකි මේ නිහඬ මිතුරා ඉකුත් 18 වැනිදා යළිත් නාරින්නටම දෑස් පියාගත්තේය.

“ඩොක්ටර්ලා ටැංගෝ ගැන හරියටම කිව්ව තොරතුරු තවමත් අපි දන්නෙ නැහැ. අපිට තොරතුරු කියන්නේ ආයතනයේ හිමිකරු විතරයි. ටැංගෝගේ ඔළුවට සවලකින් ගහපු නිසා මෙනින්ජයිටිස් එන්න පුළුවන් නිසායි බෙහෙත් කරල තියෙන්නෙ කියලා අපි පස්සෙ දැනගත්තා. වෛද්‍ය වාර්තා ඉල්ලුවත් මට තවම ඒවා දුන්නෙ නැහැ. අන්තිමට ආයතනයෙන් මට කිව්වෙ ටැංගෝ ගුටි කාපු නිසායි එකවර බෙහෙත් ගොඩක් බිව්ව නිසා වකුගඩු අකර්මන්‍යවෙලා කියලා පශු වෛද්‍යවරයා කිව්වා කියලයි. ටැංගෝට කිසිම අසනීපයක් තිබුණෙ නැහැ. එයාව භාර දෙද්දි නිරෝගීව හිටියා කියලා ආයතනයේ හිමිකරුම කියනවා. මාසයක් එයා ළඟ ටැංගෝ හිටියා. අපි ටැංගෝව භාර දුන්නේ විශ්වාස කරපු නිසායි. එයාලා ගාස්තුවක් අය කරනවා නම් බල්ලන් රණ්ඩු නොවී තියාගන්න වෙනම කුටි හදන්න වගබලා ගන්න ඕන. අපිට අවසානයේ ටැංගෝව අහිමිකළා. එයාට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න ඕන” චතුර ශ්‍රිමාල් කියන්නේය.

ටැංගෝට වූ පහරදීමට අදාළ සීසීටීවී කැමරා දර්ශන චතුරලා දකින්නේ ටැංගෝ මියගිය පසුවය. ටැංගෝ රුධිරයෙන් නැහැවෙනතුරු සවලකින් පහරදෙන අයුරු එහි අඩංගු වී තිබුණේය. ටැංගෝ මියැදෙන්නට හේතුව පහරදීමද, වකුගඩු අක්‍රීය වීමද එසේත් නැතිනම් සැත්කම කළ තුවාලයේ ආසාධනයදැයි කියන්නට තවමත් දන්නේ නැත. එහෙත් මේ සියලු සන්තෑසිවලට ටැංගෝ මුහුණ දෙන්නේ ටැංගෝ රඳවා උන් ආයතනයේ නොසැලකිලිමත්කම නිසා බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. ඒ තිරිසන් සතකුට හෝ පහර දීමට නීතියෙන් අවසර නැති නිසාය. නිවාසවල ඇති කරන සුරතල් සතුන් පමණක් නොව වීදි සුනඛයන්ට පවා පහර දුන් පුද්ගලයෝද ඉකුත් කාලේ පොලිස් අත්අඩංගුවට පත්වී අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඒ සත්ත්ව සුබසාධන සංවිධානවල මැදිහත්වීමෙනි.

අකාරුණික මිනිසුන්ගේ බිල්ලක් වූ අන්ද්‍රාහැන්නදිගේ පවුලේ පුංචි සුරතලාගේ ජීවිතය වෙනුවෙන් සත්ත්ව සංවිධාන මෙවරත් පෙරමුණ ගත්තේය. සත්ත්ව සුභ සාධක සංසදයේ විධායක සාමාජික අමිත රණතුංග චතුරලා වෙනුවෙන් කටාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ටැංගෝට සාධාරණය ඉල්ලලාය. ඒ පැමිණිල්ලට අදාළව ටැංගෝට පහර දුන් බවට චෝදන ලද පෝව්ටෝපියා ආයතනයේ හිමිකරු සහ ටැංගෝට පහරදුන් බව කියන සේවකයා කටාන පොලිසිය දෙතුන් දවසකට ඉහතදී අත්අඩංගුවට ගත්තේය. මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා දැන් සිටින්නේ ඇප මත මුදාහැරය.

පෝව්ටෝපියා ආයතනයේ රඳවා සිටින අනෙක් සුරතලුන් වෙනුවෙන් සත්ත්ව සුබසාධක සංසදය හඬ අවදි කර ඇත්තේය. එම සංසදයේ විධායක සාමාජික චාරුක වික්‍රමසේකර පවසන්නේ එම ආයතනයේදී සුනඛයන්ට බොහෝ හිරිහැර වන බවට තොරතුරු ලැබී ඇති බවය.



“අපි මේ සිද්ධිය ගැන ආයතනයේ හිමිකරු සමග කතා කළාම එයා සිද්ධියේ බරපතළකම ගැන ඒතරම් තැකීමක් කළේ නෑ. මේ වගේ සතුන්ට පහර දෙනකොට ඒ අය තවත් දරුණු වෙනවා. රණ්ඩුවකදී ගහලා පාලනය කරන්න බැහැ. ටැංගෝට සවලෙන් ගහපු එකට කියනවා පෘෂ්ඨ වර්ගඵලය වැඩි නිසා රිදෙන්නෙ නැහැ කියලා. මේ ආයතනයෙන් තවත් සතුන්ට හිරිහැර කරල තියෙනවා. හිමිකරු ෆේස්බුක් වීඩියෝ දාල සත්ත්ව හිංසනය සාමාන්‍යකරණය කරලා කතා කරනවා. ඒක හරි වැරැදි කතාවක්. එයාගේ උපදෙස් අහන මිනිස්සු ඉන්න පුළුවන්. එතකොට ඒ අයත් සතුන්ට ගහලා හදන්න ඕන කියල හිතනවා” චාරුක කියන්නේය.

සත්ත්ව සංවිධාන හා ටැංගෝගේ හිමිකරුවන් එල්ල කරන චෝදනාව ගැන පෝටෝපියා හිමිකරු විකුම් චතුරංග කියන්නේ තමන්ගේ ආයතනයෙන් වූ වැරැද්දට නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි හිමිකරුවන්ට දැනුම් දුන්නේද තමන් බවය.

‘‘ටැංගෝ අපි ළඟට එන්නේ තාත්තව හපපු නිසා. එයා කලබලකාරී සතෙක් නිසා වඳ සැත්කමක් කරන්න කියලා මම හිමිකරුවන්ට යෝජනා කළා. එහෙම තියෙද්දියි කූඩුවෙන් පැනපු වෙන සතෙක්ව ටැංගෝ හපන්නේ. ඒ වෙලාවේ කරන්න දෙයක් නැති නිසයි අපේ සේවකයෙක් පහර දීලා තියෙන්නේ. දවස් නවයක් යනතුරු ටැංගෝට අපි ප්‍රතිකාර කළා. පහර දීමෙන් ටැංගෝගේ ඔළුවේ රුධිර ගැලීම් සහ හිස්කබලට හානිවෙලා තිබුණේ නැහැ. තාත්තව හපලා ආව නිසා ගෙදර අය සතාව භාර ගත්තෙත් නැහැ. අපි කිසිම වෙලාවක අපේ වගකීම් පැහැර හැරියේ නැහැ. අපේ ආයතනයෙන් සතුන්ට හානි කරනවා කියලා අපිට දැන් චෝදනා කරන්නේ අපෙන් ඉවත් වෙලා වෙනත් ආයතනවල සේවයට ගිය අයයි’’ විකුම් කියන්නේය.

කෙසේ නමුදු සතුන් රැක බලාගැනීමේ මධ්‍යස්ථාන සේම අභිජනනය කිරීමේ මධ්‍යස්ථාන අපේ රටේ ඕසෙටය. ඒත් මේ කිසිදු මධ්‍යස්ථානයක් තවමත් කිසිදු ආයතනයකින් නියාමනය නොකිරීම ගැටලුවක් බව සත්ත්ව සුබසාධක සංසදය පෙන්වා දෙන්නේය. හිතේ හැටියට සතුන්ට හිංසා කරන්නට බලපත් ලැබී ඇත්තේ ඒ නිසාය. දැන්වත් ටැංගෝගේ මරණයෙන් පාඩමක් ඉගෙන ගෙන මේ ස්ථාන නියාමනය කරන්නේ නම් ඉන් අනෙකුත් සුරතල් සතුන්ට හෝ යුක්තිය ඉටුවනු ඇත.

 

More News..