ඉදිරියේදි ජී.එස්.පී. ප්ලස් අහිමි වේවිද?
17 August 2026
ඉදිරියේදි ජී.එස්.පී. ප්ලස් අහිමි වේවිද?
17 August 2026
Generalized Scheme of Preferences plus යන්න ඔබ අසා තිබේද? අපේ රටේ මනාව ඉංග්‍රීසි භාෂාව වහරන ඉතා වැඩිදෙනෙකුද ඒ කුමක්දැයි නොදන්නවාට සැකයක් නැත. එහෙත් G.S.P Plus (ජී.එස්.පී ප්ලස්) යැයි කීවොත් ඒ යුරෝපාකරයට අපනයනය කරන අපේ වැනි රටවල භාණ්ඩවලට ලබාදෙන තීරුබදු සහනයක් බව ඉංග්‍රීසි A,B,C පවා නොදන්නවුන්ද දන්නවාට සැක නැත. අද අපට ජී.එස්.පී. ප්ලස් මතක් වූයේ නුදුරු අනාගතයේදී අපට ඒ පහසුකම නැතිවී යෑමට ඉඩ ඇති බවට පෙරමග ලකුණු පහළ වී ඇති නිසාය.
මීට පෙරාතුවද (එනම් 2010 දී) ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් නැතිව ගියේය. ඒ එකී සහනය ලබාදීමට සම්පූර්ණ කළ යුතු කොන්දේසි සපුරා නැති බවට සලකනු ලැබූ නිසාය. අනතුරුව අවුරුදු හයකට පමණ පසු නැවත රටට ඒ ලැබුණු අතර එවර ජී.එස්.පී.ප්ලස් ලැබී වැඩි කලක් ගතවන්නට මත්තෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක් වන අපනයන සීමාව ඉක්මවා යෑමට අපි සමත් වීමු. ඒ 2018 දෙසැම්බරයේදීය.
අද වන විට නිමි ඇඳුම් නිෂ්පාදනයෙන් ශ්‍රී ලංකාව ලබන ආදායම රටේ විශාලතම අපනයන ආදායම් මාර්ගය වී තිබේ. වෙනත් වචනවලින් කියන්නේ නම් එය රටට ඩොලර් ලබාදෙන ලොකුම උල්පතයි. අපේ රටේ අපනයන ආදායමෙන් සියයට 40 සිට 45 දක්වා වන ප්‍රමාණයක් ලැබෙන්නේ එයිනි. තවද එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 සිට 7 දක්වා වන ප්‍රමාණයකි. එපමණක්ද නොවේ ඉන් ඍජු රැකියා 350,000 ක් සැපයී ඇති අතර ලැබී ඇති වක්‍ර රැකියා සංඛ්‍යාව එමෙන් කිහිප ගුණයකි.
ශ්‍රී ලංකාවට දැනට ලැබී ඇති ජී.එස්.පී.ප්ලස් සහනය 2028 අවුරුද්දේ අවසානය දක්වා බලපවත්වන බව සැබෑය. එහෙත් ඒ ඉන් අනතුරුව ස්වයංක්‍රියව දීර්ඝ කෙරෙන්නේ නැති බවද කොයි කවුරුත් සිහිතබා ගත යුතුය. ඒ මදිවාට පසුගියදා (2026 මැයි 22 වැනිදා) යුරෝපා සංගම් කවුන්සිලය සංශෝධිත ජී.එස්.පී.ප්ලස් රෙගුලාසි මාලාවක්ද සම්මත කර ගත්තේය. ඒ අනුව 2027 ජනවාරි 1 වැනිදා සිට දැනට පවතිනවාට වඩා වැඩි පුළුල් ජාත්‍යන්තර වගකීම් මාලාවක් ඉෂ්ට කිරීමට ජී.එස්.පී.ප්ලස් සහනය සඳහා ඉල්ලුම් කරන රටවලට සිද්දවෙනවා ඇත .එහෙත් අපට මුලින්ම එල්ල වන බාධකය ඇත්තේ එතැනද නොවේ.
ජී.එස්.පී.ප්ලස් සහනය ලබාදෙන්නේ අඩු ආදායම් හා පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා ලබාදෙන සහනයක් හැටියටය. එහෙත් නොබෝදා පටන් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කෙරී තිබේ. ඩොලර් 4670ක ඒක පුද්ගල ආදායමක් ඇති රටවල් මේ ගණයට වැටෙන අතර අපේ රට මේ කඩුල්ල තරණය කර තිබෙන්නේ යාන්තමිනි. නැතහොත් කඩුල්ලේ ගෑවී නොගෑවීය. එසේ වුවද මීළඟ වටයේදී ජී.එස් .පී.ප්ලස් සහනය ලබාදීමට සලකා බැලෙන විට ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් වීම ශ්‍රී ලංකාව ඒ සඳහා සලකා නොලැබෙන්නට හේතුවීමට ඉඩකඩ තිබේ.
ඒ හැරුණු විට සංශෝධිත ජී.එස්.පී කොන්දේසි යටතේ මානව හිමිකම් ආරක්ෂා කිරීම ,කම්කරු අයිතිවාසිකම් ලබාදීම, ආබාධිත පුද්ගලයන්ගේ අයිතීන් සුරැකීම ,සංවිධානාත්මක අපරාධ මර්දනය කර තිබීම හා පරිසර ආරක්ෂණ කටයුතු සිදුකිරීම ආදී බොහෝ කරුණු කාරණා සලකා බැලීමට නියමිතය. මෙහිදී ත්‍රස්තවාදයෙන් ආරක්ෂාවීමේ පනත (PTA) වැනි පනතක් අහෝසි කර නොතිබීම ශ්‍රී ලංකාවට පැහැදිලි අවාසියක් වන්නට ඉඩ ඇති බව මේ පිළිබඳ නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ. තවද මෙතෙක් කලක් කෙරුණාක් මෙන් ලේඛනවලින් පමණක් ලබාදෙන සහතික වෙනුවට විශ්වසනීය හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගෙන ඇති බවට සාක්ෂි හා දත්ත ඉදිරිපත් කිරීම අවශ්‍ය වනු ඇතැම් කියනු ලැබේ.
එසේ ගත් කල ජී.එස්.පී.ප්ලස් සහනය ඉදිරියේදීත් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව ඒ සඳහා අවශ්‍ය කොන්දේසි සපුරාලීමට කල්වේලා ඇතිව සූදානමින් සිටිය යුතුය. නිමි ඇඳුම්වලින් ලැබෙන ආදායම ඉහළ වුවද රටේ බොහෝදෙනා දන්නා පරිදි මේ වන විටත් මෙරටේ නිමි ඇඳුම් කර්මාන්තය කඩාවැටීමකට භාජනය වී තිබේ. ඉදිරි අවුරුදු දෙකෙන් පසු යම් විදියකින් ශ්‍රී ලංකාව ට ජී.එස්.පී.ප්ලස් සහනය අහිමි වුවහොත් එය 2010-7 කාලයේදීට වඩා අනිෂ්ට ප්‍රතිඵල රැගෙන එනු ඇත. ඒ ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් යන පදක්කම පැලඳගෙන සිටියද රටේ ඉතා වැඩිදෙනා ගත කරන්නේ ඉතා දුෂ්කර ජීවිත බැවිනි. ඒ නිසා ආර්ථිකයේ ශක්තිමත් භාවය පිළිබඳ පුරසාරම් නොදොඩා ජී.එස්.පී.ප්ලස් රැකගැනීමට කළ හැකි සෑම සියලු දෙයක්ම කළ යුතුව තිබේ.

