මාලිමාවේ රැලි හා පොහොට්ටුවේ රැලිය
16 September 2026
මාලිමාවේ රැලි හා පොහොට්ටුවේ රැලිය
16 September 2026
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය ජන බලය පෙන්වීමට අනුරාධපුරයේ රැලියක් පවත්වද්දී, ජාතික ජන බලවේගය පොළොන්නරුවේ සිය රැලියක් පැවැත්වූයේය. අනතුරුව වැඩි සෙනඟක් පැමිණියේ තම තමන්ගේ රැලියට යැයි කියමින් දෙපැත්තේ අනුගාමිකයන් පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල කා කොටා ගත්තේය. එහෙත් අප මේ ලියන්නේ ජයග්‍රාහකයා කවුදැයි තීන්දුව දීමේ අදහසින් නොවේ.
ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් හැටියට මුලින්ම මැතිවරණයකට ඉදිරිපත් වූයේ 1979 දී කොළඹ මහ නගර සභා ඡන්දයටය. එදා පටන් 2020 දක්වා ජවිපෙ හැටියට හෝ 2019 න් පසු ජාතික ජන බලවේගය හැටියට හෝ ඉදිරිපත් වූ කිසිදු මැතිවරණයකදී සියයට 3 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හෝ ලක්ෂ හතරකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් හෝ දිනාගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත. එහෙත් එදවසද දේශපාලන රැලි හෝ පෙළපාළි හෝ පැවැත්වීමේදී වැඩිම පිරිස් බලය පෙන්වීමේ ශක්‍යතාවය තිබුණේ නම් ඔවුන්ටය.
එනිසා පොළොන්නරුවේ රැස්වීමට මහ සෙනඟක් සහභාගිවීම පමණක් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිළිබඳ ප්‍රබල සාධකයක් හැටියට ගණින්නට අමාරුය. එහෙත් විපක්ෂයේ රැස්වීමට විශාල පිරිසක් පැමිණීම සම්බන්ධයෙන් කතන්දරය ඊට වෙනස්ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යනු 2020 දී තමන් මුහුණ දුන් පළමුවැනි මහා මැතිවරණයේදී ලබාගත් හැට ලක්ෂයකට ආසන්න ඡන්ද සංඛ්‍යාව 2024 පැවැති ඊළඟ මහ ඡන්දයේදී ලක්ෂ දෙකහමාරකට බස්සවා ගන්නා තරමට පල්ලම් බැසි දේශපාලන පක්ෂයකි.
එයට පිරිස් ඒකරාශී කරගැනීම සඳහා තවමත් වියපත්ව, ජරාපත්ව සිටින මහින්ද රාජපක්ෂ වේදිකාවට කැඳවා ගැනීමට අවශ්‍යය. 2024 දී ලැබූ දැවැන්ත පරාජයෙන් පසුවද අදටත් ඔවුන් එන්නේ පාරාජිකා වූ පරණ මුහුණු සමගමය. ඒ මේ අඩුලුහුඬුකම් එසේම තිබියදී දැවුරුද්දකට පෙර පශ්චාත් භාගය බිම ඇනුණු පක්ෂයක රැස්වීමට ඒ සා විශාල ජන සහභාගිත්වයක් ලැබීමම ජයග්‍රහණයක් බව පිළිගත යුතුව තිබේ.
පොළොන්නරුවේ පැවැති බැවින් ආණ්ඩුවේ රැලිය ඔවුන් විසින් නම් කර තිබුණේ ගොවි රැලිය හැටියටය. එහෙත් එකී ගොවි රැලියේ බරපතළ ඌනතාවයක් ඒ අවසන් වූ වහාම විපක්ෂය විසින් පෙන්වා දී තිබුණේය. ඒ ඊට ගොවි (කෘෂිකර්ම) අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත හා ගොවි (කෘෂිකර්ම) නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන දෙදෙනා සහභාගි නොවීමය.
පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් රජරට ගොවීන් තමන්ගේ ප්‍රශ්න ආණ්ඩුවට කියාපාන හැටි රටට කියවන්නට, අසන්නට හා දැකගන්නට ලැබුණේය. තමන්ගේ ඡන්දයෙන් බලයට පැමිණ සිය ප්‍රශ්න නොතකා හරින ආණ්ඩුවට ඊළඟ මැතිවරණයේදී නිසි පිළිතුරු දෙන බව ඔව්හු එහිදී රටටම හඬගා කීහ. එවැනි අවස්ථාවලදී ආණ්ඩුවේ ඇතැම් නායකයන් පිළිතුරු බැන්දේ ගොවීන් තවත් කුපිත වන ආකාරයටය.
එවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුවේ ගොවි නායකයන් දෙදෙනාම ගොවි රැලියට සහභාගි නොවීම අහම්බයක්ද යන ප්‍රශ්නය විපක්ෂය විසින් මතුකිරීම ස්වභාවිකය. ඒ දෙදෙනා වෙනුවට ගොවි පුත්‍රයකු හැටියට හඳුන්වනු ලබන ජනාධිපතිවරයා නම් ගොවි ප්‍රශ්න ගැන කතා කළ බව ඇත්තය. එහෙත් ගොවීන් පසුගිය කාලයේ පෙන්වා දුන් ප්‍රශ්නවලට විසඳුමක් එහිදී ඉදිරිපත් කෙරුණේද යන්න සැකසහිතය.
ජනාධිපතිවරයාද සිය කතාවේදී වැඩි සැලකිල්ලක් දැක්වූයේ ගොවිතැනට නොව හොරු ඇල්ලීම ගැන කතා කරන්නටය. එහිදී පියවරුන් හා පුතුන් උදාහරණයට ගෙන සොරකම ගැන කී දෑ එල්ල කෙරුණේ කාටද යන්න කාටවත් රහසක් නොවීය. ඒ අතරේ ඉන් පෙනී ගිය තව කාරණයක් වූයේ මේ සා බලසම්පන්න ආණ්ඩුවට බලයේ නැති පියවරුන් හා පුතුන් තවමත් ප්‍රශ්නයක් බවය.
පියවරුන් සිය පුතුන්ට හොරකම් නොකරන්න යැයි මුලින්ම කියා සිටියේ නම් ප්‍රශ්නයක් නොවන බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. එය සම්පූර්ණ සත්‍යයකි. එය පියවරුන් විසින් පුතුන්ට පමණක් නොව ආණ්ඩුවක නායකයකු විසින් තමන්ගේ මැති ඇමතිවරුන්ටද දිය යුතු අවවාදයක් යැයි අපි සිතමු.
ආණ්ඩුවේ නායකයන් රට පුරා පවත්වමින් යන රැලිවලදී කියා සිටින්නේ මහජනතාව තවදුරටත් ආණ්ඩුව සමග සිටින බවය. විපක්ෂය සුන්බුන් වී ඇති වගය. අපේ අදහස වන්නේ ආණ්ඩුවට මේ මතය ඇස්පනාපිට ඔප්පු කර සිටිය හැකි පහසු මගක් පවතින බවය.
ඒ 2017 සිට පවත්වා නැති පළාත් සභා ඡන්දය පැවැත්වීමෙනි. ඊළඟට පාර්ලිමේන්තුව රැස්වන දවසේදී අදාළ මැතිවරණ පනතට ඉදිරිපත් කරන සංශෝධනයක් සරල බහුතරයක ඡන්දයෙන් සම්මත කරගැනීමෙන් එය කළ හැකිය. එසේ කර ඊළඟ මාස දෙකතුන තුළ මැතිවරණයක් පවත්වා තවමත් ජනබලය ඇත්තේ තමන් සමග බව රටට ලෝකයට ඔප්පු කර පෙන්විය හැකිය.

