brand logo
logo
  ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක්

19 August 2026


ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ණය මුදලක් ලබාදී ඇති අතර, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට පසුගියදා අත්සන් තැබිණි.


ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා ලබාදී ඇති අතර, අනෙක් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ දේපළ සහ ජීවනෝපායන් යළි ගොඩනැගීම සඳහා ලබාදී තිබේ.


වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහාය ප්‍රතිපත්ති පාදක ණයක් ලෙස ලබාදී ඇති අතර, ඒ යටතේ වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ උප වැඩසටහන 1 ක්‍රියාත්මක කිරීමට නියමිතය. 2025 ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූල වන තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.


අනෙක් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල 2026-2030 කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සහ ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය සඳහා ලබාදී තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් මෙන්ම වාරිමාර්ග පද්ධති පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. එමෙන්ම බලපෑමට ලක් වූ ජනතාවගේ ජීවනෝපායන් යළි නගාසිටුවීම සහ නිවාස යථා තත්ත්වයට පත් කිරීමද සිදු කිරීමට නියමිතය.


මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්මිය විසින් මෙම ණය මුදල් සඳහා වන අවබෝධතා ගිවිසුම් මහා භාණ්ඩාගාරයේදී පසුගියදා අත්සන් තබන ලදී.

 

More News..