සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවෙන් ඉවත් කරන්න ආණ්ඩුවෙන් යෝජනාවක් ඇවිත්
23 July 2026 | සටහන - නිරෝෂා වාසල
සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවෙන් ඉවත් කරන්න ආණ්ඩුවෙන් යෝජනාවක් ඇවිත්
23 July 2026 | සටහන - නිරෝෂා වාසල
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඍජු අධීක්ෂණය හා කළමනාකරණය යටතේ පවතින සේවක අර්ථසාධක අරමුදල (EPF) හා පනතක් හරහා භාරකාර මණ්ඩලයක් විසින් පාලනය වන සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (ETF) කිසිදු වගකිවයුතු පාර්ශ්වයක හෝ වෘත්තිය සමිතිවල එකඟතාවකින් හා සාකච්ඡාවකින් තොරව ආණ්ඩුවේ හිතුමතය පරිදි මහ බැංකුවෙන් එළියට ගෙන කළමනාකරණ මණ්ඩලයකට පැවැරීමේ සූදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව ජාතික වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගේ සම්මේලනය පවසයි. රටේ සමස්ත වැඩකරන ජනතාවගේ විශ්‍රාමික ජීවන සුරක්ෂිතතාව සහ සුභසාධනය වෙනුවෙන් වන මෙම අරමුදල් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ගෙන ඒමට සැරසෙන අත්තනෝමතික, ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග හෙළාදකින බව ද එම සම්මේලනය වැඩිදුරටත් කියා සිටියි. මේ, ඒ සම්බන්ධයෙන් වෘත්තිය සමිති හා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය "අරුණ"ට කියූ දේය.
සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සම්බන්ධයෙන් ආණ්ඩුව අත්තනෝමතික තීරණයක් ගෙන තිබෙන බව වෘත්තීය සමිති හා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය පහුගිය දවසක කියලා තිබුණා. මොකක්ද ඒ කතාව?
අපේ රටේ කම්කරුවන්ට ඔවුන්ගේ සමාජ ආරක්ෂණය සඳහා සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල යනුවෙන් අරමුදල් දෙකක් තියෙනවා. බණ්ඩාරනායක මහත්තයා හඳුන්වා දුන් සේවක අර්ථසාධක අරමුදල පිහිටුවලා තියෙන්නේ 1958 අවුරුද්දේ. 1980 අවුරුද්දේ අංක 46 පනත අනුව ජේ.ආර්. ජයවර්ධනයි සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල පිහිටුවූයේ. සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල කියන්නේ රටේ සමස්ත වැඩකරන ජනතාවගේ විශ්‍රාම ජීවන සුරක්ෂිතතාව සහ සුභසාධනය වෙනුවෙන් වන විශාල අරමුදල් දෙකක්. මෙහිදී රාජ්‍ය අංශය අදාළ නොවුණත් අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකම නියෝජනය කරනවා. එනම් රජයේ සංස්ථා, බැංකු, වරාය ටෙලිකොම් වැනි සියලුම අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ සියලුම ආයතන මෙම අරමුදල් දෙකට අදාළයි. දකුණු ආසියාවේ විශාලතම මුදල් ප්‍රමාණය තියෙන්නෙත් මෙම අරමුදල් දෙකේ කියලා කිව්වත් වරදක් නැහැ. මේ අරමුදල් දෙකේ එකතුව ට්‍රිලියන 5.5ක් පමණ වෙනවා. සේවක අර්ථ සාධක අරමුදලේ ට්‍රිලියන 4.7 ක් පමණ තියෙනවා. ඒ ට්‍රිලියන 4.7ම තියෙන්නේ මහ බැංකුව භාරයේ. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලට යම් ආරක්ෂාවක් මහ බැංකුව පැත්තෙන් ලැබෙනවා. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල පනතක් හරහා භාරකාර මණ්ඩලයක් විසිනුයි පාලනය වෙන්නේ. ඒ කියන්නේ මේ අරමුදල තියෙන්නේ මහ බැංකුවෙන් පිටතයි. කොහොම වුණත් මූලිකව මේ අරමුදල් දෙකෙන් සමාජ ආරක්ෂණයට අදාළව සැලකිය යුතු මුදලක් පුද්ගලයන් විශ්‍රාම යද්දි ලැබෙනවා. ඒ වගේම සුභ සාධන වැඩසටහන් සඳහාත් ගෙවීම් කරනවා. ඒ නිසා මේ අරමුදල් දෙක අතිශයින්ම වැදගත්. මේ අරමුදල් සඳහා සේවකයන් තම වැටුපෙන් සියයට හතක් හා හාම්පුතා සියයට දොළහක ගෙවීමක් කරනවා.
ඔබ ඔය පැහැදිලි කළේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල පිළිබඳවනේ. ඒ අරමුදල් සම්බන්ධයෙන් ආණ්ඩුවේ අත්තනෝමතික තීරණය මොකක්ද කියලයි මම ඔබෙන් අහන්නේ?
ඒ ගැටලුව ගැන කතා කිරීමට පෙර මේ අරමුදල් දෙක පිළිබඳව පාඨකයන්ට යම් අදහසක් ගැනීම සඳහායි මම ඒ සම්බන්ධයෙන් ඉහත ආකාරයේ විස්තරාත්මක පැහැදිලි කිරීමක් කළේ. කොහොම වුණත් මේ අරමුදල් සම්බන්ධයෙන් දැන් ඇතිවෙලා තියෙන ගැටලුව ගැන කතා කළොත් සේවක අර්ථ සාධක අරමුදල තුළ සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල තුළ විශාල මුදලක් තිබෙන බව ආණ්ඩුව දන්නවා. සේවකයන් ලක්ෂ විසිපහක් පමණ මේ අරමුදල් දෙකත් සමග ඉන්නවා. කොහොම වුණත් මහ බැංකුව යටතේ පවතින සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවෙන් ඉවත් කරන්න දැන් ආණ්ඩුව යෝජනාවක් ගෙනැල්ලා තියෙනවා. ඒ විදිහට සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවෙන් ඉවත් කරලා, ඒ අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල කියන අරමුදල් දෙකම මණ්ඩලයක් හරහා පාලනය කරන්නත් ආණ්ඩුවේ යෝජනාවක් තියෙනවා. ඇත්තටම මේක ඉතාම බරපතළ යෝජනාවක්.
සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල කියන අරමුදල් ඒකාබද්ධ කරලා පොදු පාලන රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව පිළිබඳව සොයා බැලීමට කමිටුවකුත් පත් කරලා තියෙනවා නේද?
ඔව්. මේ වන විට ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවත් සම්මත වෙලා තියෙන්නේ. ඒ අනුව කැබිනට් එකෙන් දැන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලන්න කමිටුවකුත් පත් කරලා තියෙනවා. මේ අරමුදල්වල කළමනාකරණය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා අදාළ කමිටුව පත් කළා කියලයි ආණ්ඩුව කියන්නේ. ඒත් අපිට නම් එහෙම දෙයක් පේන්නේ නැහැ. ඒ කමිටුව මාස තුනක් ඇතුළත වාර්තාවක් දිය යුතුයි. ඒ මාස තුනෙන් මේ වන විටත් මාසයක් ගෙවී අවසන්. ඉතිරි වෙලා තියෙන්නේ තව මාස දෙකයි. ඒ මාස දෙකෙන් පසුව ඒ කමිටුව දෙන වාර්තාව අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ආණ්ඩුව කියනවා. එහෙම ආණ්ඩුවට වුවමනා විදිහට කටයුතු කරන්න බෑ. මොකද මේ අරමුදල්වල තියෙන්නේ කම්කරුවන්ගේ සල්ලි. කම්කරුවන් දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි ගැන ආණ්ඩුවට වුවමනා විදිහට ඒකපාර්ශ්වික තීරණ ගන්න බෑ. ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගන්න නිසි ක්‍රමවේදයක් තියෙනවා.
මොකක්ද ඔබ ඔය කියන නිසි ක්‍රමවේදය?
මේ කාරණා සඳහා රටේ යම් යම් නීති පවතිනවා. ඒ වගේම නීත්‍යනුකූලව අණ පනත් මගින් වෘත්තිය සමිති විසින් කම්කරුවන්ව නියෝජනය කරනවා. කම්කරුවන් සම්බන්ධ තීරණයක් හෝ ඔවුන්ට අදාළ මුදල් සම්බන්ධ තීරණයක් ගැනීමේ දී ආණ්ඩුව ඒ කම්කරුවන් නියෝජනය කරන වෘත්තිය සමිති සමග හෝ සාකච්ඡා කළ යුතුයි. ඒත් මේ වන තුරුත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිම වෘත්තීය සමිතියක් සමග සාකච්ඡාවක් කරලා නැහැ. ඇත්තටම මේ යෝජනාව ඉදිරිපත් කළ වහාම ඔවුන් වෘත්තිය සමිති සමග සාකච්ඡා කළ යුතුව තිබුණා. එහෙම දෙයක් නොකර කැබිනට් පත්‍රිකාවකුත් අනුමත කරලා දැන් ඒ ගැන හොයන්න කමිටුවකුත් පත් කරලා තියෙන්නේ. එහෙම තියෙද්දි තවමත් අදාළ පාර්ශ්ව සමග ආණ්ඩුව සාකච්ඡා නොකිරීමත් ගැටලුවක්.
අපේ රටේ කම්කරුවන් පිළිබඳව සොයා බැලීමට ජාතික කම්කරු උපදේශක සභාවක් තියෙනවා නේද?
ඔව්. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 144 ප්‍රඥප්තියට අනුව අපේ රටේ ජාතික කම්කරු උපදේශක සභාවක් පිහිටුවලා තියෙනවා. කම්කරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනුයි ජාතික කම්කරු උපදේශක සභාව රැස්වෙන්නේ. ඒ සඳහා ආණ්ඩුවේ නියෝජනයක් වගේම වෘත්තීය සමිති නියෝජනයකුත් තිබිය යුතුයි. ඒත් අඩුම තරමේ මේ කම්කරු උපදේශක සභාව තුළදීවත් අපි මේ කියන කාරණාව පිළිබඳව වෘත්තීය සමිති කැඳවලා සාකච්ඡාවක් කරලා නැහැ. දැන් ආණ්ඩුවත් තමන්ට කැමැති විදිහට මේ කම්කරු උපදේශක සභාව හදාගෙන තියෙන්නේ. එහි සියයට අසූවක්ම නියෝජනය වෙන්නේ ආණ්ඩුවේ පිරිසයි. ආණ්ඩුවට හිතැති වෘත්තීය සමිති පමණක් ගෙන්වලා මේ සාකච්ඡා කළාට වැඩක් නැහැනේ.
ආණ්ඩුව එම කම්කරු උපදේශක සභාව පවා මග හරිමින් වෘත්තීය සමිති සමගවත් කිසිදු සාකච්ඡාවක් කරන්නේ නැතිව සේවක අර්ථ සාධක සහ භාරකාර අරමුදල් පිළිබඳ හොර රහසේම යම් යම් දේවල් ක්‍රියාත්මක කිරීමට යෑම ඇත්තටම අපිට ලොකු සැකයක්. කම්කරු අයිතීන් සහ ජාත්‍යන්තර ප්‍රඥප්ති උල්ලංඝනය කිරීමේ චෝදනාවෙන් මිදීම සඳහා ආණ්ඩුව මේ තීරණය ත්‍රෛපාර්ශ්වික ක්‍රියාවලියක් ලෙස පෙන්වීමට උත්සාහ කරනවා. ඒ කියන්නේ ආණ්ඩුව තමන්ට හිතවත් පාර්ශ්ව පමණක් හවුල් කරගනිමින් අවශ්‍ය සාකච්ඡා කරමින් මේක ආණ්ඩුව අත්තනෝමතිකව ගන්නා තීරණයක් නොවන බව ජාත්‍යන්තරයට පෙන්වන්න උත්සාහ කරනවා. ඒත් ඇත්තටම ආණ්ඩුවට හිතැති පිරිසක් හැර ආණ්ඩුවෙන් පරිබාහිර අනෙක් කිසිම පාර්ශ්වයක් මේ වනතුරු සේවක අර්සාධක සහ භාරකාර අරමුදල් පිළිබඳ ආණ්ඩුවේ යෝජනාව ගැන කතාකරන්න සම්බන්ධ කරගෙන නැහැ.
ඔබ ඔය කියන විදිහට ජාතික කම්කරු උපදේශන සභාව පවා මගහරිමින් ආණ්ඩුව මොකක්ද මේ කරන්න සූදානම් වෙන්නේ?
සේවක අර්ථ සාධක අරමුදල කියන්නේ විශාල අරමුදලක්. ඒ අරමුදලේ පාලනය මහ බැංකුවෙන් එළියට අරගෙන තමන්ට කැමැති ව්‍යාපෘතිවල ඒ මුදල් ආයෝජනය කරන්නයි ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ. ඒක අපි හිතනවටත් වඩා විශාල අනතුරක්. ඇත්තටම කිව්වොත් සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවේ පාලනයෙන් ඉවතට ගැනීමම අනතුරක්. ඉන්පසුව ඒ අරමුදලට වගකීමක් සහ ආරක්ෂාවක් නැතිව යනවා. කොහොමත් මේ ආණ්ඩුවට මුදල් පිළිබඳ වගකීමක් හෝ වගවීමක් නැහැ.
මේ ආණ්ඩුවට මුදල් පිළිබඳ වගකීමක් නැහැ කියන්නේ ඇයි?
ඒ ගැන අපි අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑනේ. මෑතකදී වූ සිදුවීම් බොහොමයකින් මේ ආණ්ඩුවට මුදල් ගැන වගකීමක් නෑ කියන එක හොඳටම පැහැදිලි වෙනවා. මෑත ඉතිහාසය ගත්තොත් මාර්ග සංවර්ධන අධිකාරිය, තැපෑල, අස්වැසුම සහ ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි ක්ෂේත්‍ර තුළ වූ මහා පරිමාණ මූල්‍ය වංචා දෙස බැලීමේදී ආණ්ඩුවට මූල්‍ය විනයක් හෝ කළමනාකරණ සාක්ෂරතාවක් නොමැති බව පැහැදිලි වෙනවනේ. මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන දෙකයි දශම පහට මොකද වුණේ?
මේ දේවල් දිහා බලද්දි ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය ගැන නම් කිසිම විශ්වාසයක් තියන්න බැහැ. අනෙක මේ ආණ්ඩුවට මූල්‍ය කළමනාකරණ හැකියාවකුත් නැහැ. කිසිම ආයෝජනයක් ලංකාවට ඇවිත් නෑ. මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදය පැහැදිලි නෑ. ආණ්ඩුව එවැනි නොහැකියාවක් සහ අසාර්ථකකමක් පෙන්නුම් කරන පසුබිමක් තුළ වැඩකරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අනාගතය බාහිර කණ්ඩායමක් අතට පත් කිරීමෙන් වැඩ කරන මිනිසුන්ගේ විශ්‍රාමික දිවිය වුණත් සම්පූර්ණයෙන්ම අඳුරට ඇද වැටෙනවා. අපි මේ වගේ දේවල්වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කාරණා සඳහන් කරලා ආණ්ඩුවට පසුගිය සතියේ අපි ලිපියකුත් ඉදිරිපත් කළා. සේවක අර්ථ සාධක සහ භාරකාර අරමුදල් පිළිබඳ අරගෙන තියෙන තීරණය වහාම නතර කරන්න කියලයි අපි ආණ්ඩුවට කියන්නේ. වෘත්තිය සමිති සමග සහ අදාළ පාර්ශ්වයන් සමග මේ ගැටලුව ගැන සාකච්ඡා කරලා අවශ්‍ය තීන්දු තීරණ ගන්න ආණ්ඩුවට පුළුවන්කම තියෙනවා. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ ත්‍රිත්වයම නියෝජනය කරන විශාලම ජාතික සංවිධානය වන ජාතික වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගේ සම්මේලනය නියෝජනය කරන අපට වහාම සාකච්ඡාවක් දෙන්න කියලත් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් මේ වන තුරු ආණ්ඩුව පැත්තෙන් අපේ ඒ ඉල්ලීම්වලට කිසිම සුබවාදී ප්‍රතිචාරයක් නැහැ. ආණ්ඩුව සුපුරුදු විදිහට තමන්ගේ වැඩ ටික කරගෙන යන්න හදන බවක් තමයි අපිට නම් පේන්නේ. ඒත් අපි හැමෝම එකතු වෙලා ආණ්ඩුවේ මේ බලහත්කාරී වෑයම පරාජය කරන්න සූදානම් වෙමින් ඉන්නවා. ආණ්ඩුව මේ ප්‍රශ්නවලට සුබවාදී විසඳුමක් නොදුන්නොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු නුදුරේදීම ක්‍රියාත්මක කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ රටේ වැඩ කරන සුවහසක් ජනතාවගේ අනාගතය අඳුරු වෙන්න කොහොමත් ඉඩ දෙන්න බැහැ.
ආණ්ඩු බලය ගැනීමට පෙරත් ඉන්පසුවත් ජාතික ජන බලවේගය නිතර නිතර වැඩකරන ජනතාව වෙනුවෙන් කතා කළා. එහෙම පිරිසක් වැඩකරන ජනතාවගේ අනාගතය අඳුරු වෙන්න ඉඩ තියයි කියලා ඔබ හිතනවද?
ජාතික ජන බලවේගය කොහොමත් බොරුවෙන් තමයි ජීවත් වුණේ. ඔවුන් ආණ්ඩු බලය ගන්නත් ජනතාවට බොරු කිව්වා. ආණ්ඩු බලය ගත්තාට පසුවත් ජනතාවට තවම බොරු කියනවා. නේක ආකාරයේ සිහින ජනතාව ඉදිරියේ මැව්වා. ඇත්තටම අද වෙද්දි ඒවා හැබෑ කරගන්න බැරි සිහින බවට පත්වෙලා තියෙනවා. ආහාර ද්‍රව්‍යවලට, අධ්‍යාපන උපකරණවලට, බෙහෙත්වලට වැට් එක නැති කරනවා කියලා ආණ්ඩුව කිව්වා. ඒත් ඒවා කරගන්න පුළුවන් වෙලා නැහැනේ. විදුලි බිල වැඩි වෙලා. ඉන්ධන මිල වැඩිවෙලා. වැඩ කරන පන්තියට සුරපුරයක් මවනවා කියලයි බලය ගන්න කලින් ආණ්ඩුව කිව්වේ. සුරපුරේ කෙසේ වෙතත් වැඩ කරන පන්තිය නොමග යැවීමෙන් ඔවුන්ගේ අනාගතය පවා අඳුරු කරන්නයි ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ.

