චමරිලාට එළැඹෙන වසරේ පළමු අභියෝගය එංගලන්තයෙන්
22 October 2026
චමරිලාට එළැඹෙන වසරේ පළමු අභියෝගය එංගලන්තයෙන්
22 October 2026
එළැඹෙන 2027 වසර පෙබරවාරි සහ මාර්තු මාසවලදී එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා මෙරට සංචාරය කිරීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඊයේ (21 වැනිදා) නිවේදනය කළේය.
තරග සංචාරයට විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් වන අතර විස්සයි විස්ස තරගාවලිය පෙබරවාරි පළමුවැනිදා සිට 5වැනිදා දක්වා පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. විස්සයි විස්ස තරගාවලියෙන් අනතුරුව කණ්ඩායම් දෙකම ඉන්දියාවේදී පැවැත්වෙන පළමු ශූරියන්ගේ කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා පිටත්වනු ඇත. පෙබරවාරි මස 14 වැනිදා සිට 28 වැනිදා දක්වා කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ශූරියන්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින තරගාවලිය සඳහා එංගලන්ත ක්රීඩිකාවන් යළි මෙරටට පැමිණීමට සැලසුම් කර ඇත. ඒ අනුව එක්දින තරගාවලිය මාර්තු 4 වැනිදා සිට 8 වැනිදා දක්වා රංගිරි දඹුලු ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස පැවැත්වීමට සැලසුම්කර ඇත.

