ජනතාව පිනවන ආණ්ඩුව
04 August 2025
ජනතාව පිනවන ආණ්ඩුව
04 August 2025
වෙරිටේ ලංකා ආයතනය සති කිහිපයකට පෙර කළ හෙළිදරව්වක් තවමත් රටේ බොහෝදෙනාට මතක ඇතැයි අපි සිතමු. ඒ, මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර පොරොන්දු දහස් ගණනක් දුන් නමුත්, ඉන් ඉෂ්ට කර ඇත්තේ එක පොරොන්දුවක් පමණක් බවය. ඉටු කෙරී තිබුණේ උපයන විට ගෙවීමේ සීමාව ඉහළ දැමීමට ජාතික ජන බලවේගය දුන් පොරොන්දුවයි. එහෙත් එද ඉහළ දැමුණේ පොරොන්දු වූ පරිදි රුපියල් ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා නොව ලක්ෂ එකහමාරක් දක්වා පමණය. එබැවින් වෙරිටේ ලංකා ඉෂ්ට කළේ යැයි වාර්තා කළ පොරොන්දුවද ඉෂ්ට කර ඇත්තේ භාගෙටය.
එසේ ගත් කළ ආණ්ඩුවට සතුටු විය හැකි අවස්ථාවක් ළඟදීම උදාවීමට යයි. ඒ මාස දහයකටද වැඩි ඔවුන්ගේ ආණ්ඩු කාලයේදී දෙවැනි මැතිවරණ පොරොන්දුව ඉෂ්ට වීමට යෑමය. ඒ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතය.
මේ ආණ්ඩුව බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතුවක් ඔවුන්ගේ ඉතා සාර්ථක ප්‍රචාරක ව්‍යාපාරයයි. 1948න් පසු ගතවූ අවුරුදු හැත්තෑ හය ඇතුළත මේ රට පාලනය කළ කිසිම ආණ්ඩුවක් රටට කිසිම දෙයක් නොකළ බව ඔවුහු දේශපාලන වේදිකාවලදී පුන පුනා කීහ. එපමණක් නොවේ, ඔවුන් කළේ රට විනාශ මුඛයට ගෙනයෑම බවද ඔවුහු දසඅතේ දිවුරා කීහ. බොරු කීම දේශපාලන වේදිකාවලට අරුමයක් නොවන නිසා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට මේ ගැන ආඩපාලි කීමේ තේරුමක් නැත. බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම පාහේ ඡන්ද දිනාගැනීම සඳහා අනන්තවත් බොරු කියා තිබේ. ජවිපෙ හා ජාජබ ඒ අතින් ජැක්පොට් දිනුම ලබාගැනීම වෙනම කතාවකි.
තිබුණු ආණ්ඩුත්, හිටපු නායකයිනුත් පිළිබඳ පැතිරවූ මිථ්‍යාව (වඩාත් නිවැරදි වචනය වෛරයයි) නිසා මාලිමාවට පක්ෂවූ සියලුදෙනා අඩුවැඩි වශයෙන් මොළ සේදීමකට ලක්වී සිටි බව කීම බොරුවක් නොවේ. ඒ අතරේ 1948 පටන් තමන්ගේ දේශපාලන පක්ෂ, තමන්ගේ ආණ්ඩු හා තමන්ගේ නායකයන් රටට කළ දේවල් කියන්නට ඒ පක්ෂවල ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවුණේ නැත්තේ ජවිපෙ /ජාජබ කියන දේවල් පිළිගත්තාක් මෙනි. ඒ නිසා හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීම රටේ ආන්දෝලාත්මක කාරණයක් වූයේ නැත.
දැන් මේ පනත නිසා වරප්‍රසාද අහිමිවන ජනාධිපතිවරුන් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහය. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ වැන්දඹුව වන හේමා ප්‍රේමදාසගේද වරප්‍රසාද ඒ සමග අහිමි වෙයි. අහිමිවන වරප්‍රසාද වන්නේ ඔවුන්ට පදිංචියට දී ඇති රජයේ නිවාස හෝ ඒ වෙනුවෙන් ගෙවන දීමනා හෝ ඔවුන්ගේ කාර්ය මණ්ඩල දීමනා හා ප්‍රවාහන පහසුකම්ය. අප මේ ගැන ලියන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ හා ජනාධිපති වැන්දඹුවගේ වරප්‍රසාද අහිමි කිරීම වැරැද්දක් බව කීමට නම් නොවේ. මේ ආණ්ඩුවේ නායකකාරකාදීන් කියන හැටියට මේ ආණ්ඩුව වැරදි කරන ආණ්ඩුවක්ද නොවේ.
අපට කියන්නට ඇත්තේ මෙය සිය අනුගාමිකයන් පිනවීම පිණිස ආණ්ඩුව පෙන්වන නාඩගමකට වැඩි දෙයක් නොවන බවය. දැන් මේ සිදුකර ඇති පරිදි කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීම බව ආණ්ඩුව බලයට පත්වූ අලුත නොදැන සිටියා වන්නට බැරිය. එහෙත් ඒ වෙනුවට වෙනින් කවුරුවත් නොව ජනාධිපතිවරයාම කළේ මහා මැතිවරණයේ ඡන්ද රැස්වීමක්, රැස්වීමක් ගානේ මහින්ද රාජපක්ෂ පදිංචි නිවෙසින් අද එළියට දමනවා, හෙට එළියට දමනවා ආදී වශයෙන් කිය කියා යෑමය. ඊට අතිරේකව පදිංචිවී සිටි නිවෙසට වඩා කුඩා ගෙයක් දෙන බවද කියා සිටීමය. එහෙත් හිටපු ජනාධිපතිවරයා පදිංචිවී සිටි නිවෙසින් මෙතෙක් එළියට දැමුණේ නැත. එතෙක් කී සියල්ල රටේ ජනාධිපතිවරයාට නොගැළපෙන ඡන්දාපේක්ෂකයකු ඡන්දදායකයන් පිනවීම සඳහා කියන කතා මිස අනෙකක් නොවන බව දැන් රටට පැහැදිලිය. දැන් ආණ්ඩුව හැසිරෙන්නේද එදා මහා මැතිවරණ රැස්වීම්වලදී හැසිරුණු ආකාරයට වෙනස් අන්දමකට නොවේ. මැතිවරණවලදී දුන් දහසකටත් වැඩි ඡන්ද පොරොන්දුවලින් එකක් පමණක් (ඉන්ද අඩක් පමණක්) ඉෂ්ට කළේ යැයි කියන ආණ්ඩුව දැන් සිය අනුගාමිකයන් පිනවීම සඳහා හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමට යයි. රටුන් තමන් බලයට පත් කරගත්තේ අවුරුදු හැත්තෑ හයක් තිස්සේ නොවිසඳී ඇතැයි ඔවුන් කී ප්‍රශ්න විසඳීමට බව ආණ්ඩුව කවදා වටහා ගනීදැයි අපි නොදනිමු.