brand logo
logo
ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

27 August 2026 | නදුන්ක නෙත්සර


කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය ඊයේ (26 වැනිදා) නිමා වන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැලවීමට සමත්ව සිටියද, 2-0ක තරගාවලි පරාජයක් ලැබීමේ දැඩි අවදානමක පසු විය. ශ්‍රී ලංකා පළමු ඉනිම සඳහා සොනාල් දිනූෂ අගනා ශතකයක් වාර්තා කරද්දී, දෙවැනි ඉනිම තුළ ද ශ්‍රී ලංකා පිතිකරුවන් සුපුරුදු ලෙසම නොසැලකිලිමත්ව ඉන්දියාවට කඩුලු ලබාදෙන අයුරු කැපී පෙනුණි.


තෙවැනි දින අවසාන වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි සොනාල් දිනූෂ සහ ලහිරු කුමාර ඊයේ උදෑසන 9.45ට සිව්වැනි දිනය සඳහා තරගය ඇරැඹූහ. අවසන් කඩුලු 2 දවා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම අඩ පැයක් තුළ නිමා කිරීමට සාරන්ශ් ජයින් සමත් වූ නමුත් එයට පෙර සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සොනාල් සමත් විය. හතරේ පහරක් සමගින් ශතකය වාර්තා කළ සොනාල් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියකදී ශතක දෙකක් වාර්තා කළ 9වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත් විය. ශතකය සඳහා සොනාල්ට අගනා සහයක් ලබාදුන් ලහිරු පන්දු 58කට මුහුණ දීමෙන් අනතුරුව සාරන්ශ්ගේ පළමු ටෙස්ට් කඩුල්ල බවට පත් වූ අතර සොනාල් ද ස්ලිප් හි පන්දු රැකි රාහුල් වෙත උඩ පන්දුවක් ලබාදීම හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290කට සීමා විණි. ඒ වන විට ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 213ක් පසුපසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක පරාජයේ අවදානම ද සමගින් යළි පන්දුවට පහරදීමට සිදු විය.


සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 5කට සීමා වෙමින් ලකුණු 3ක් ලබා සිටි ලහිරු උදාර සිරාජ් හමුවේ දැවී ගිය අතර කමිල් මිශාර ජඩේජාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන විට ලකුණු 32ක් ලබා සිටියේය. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 83ට කඩුලු 2ක් ලෙස සඳහන් විය. ඉන් අනතුරුව තෙවැනි කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් පිහිටුවීමට පසිඳු සූරියබණ්ඩාර සමගින් කමිඳු මෙන්ඩිස් සමත් වූහ. පසිඳු සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කරද්දී, කමිඳු සිය 7වැනි අර්ධ ශතකය රැස් කළේය. ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ලෙසින්ම පසිඳු - කමිඳු සුසංයෝගය පිටිය සිසාරා එල්ල කළ හයේ සහ හතරේ පහර ද සමගින් පහසුවෙන් ලකුණු රැස් කරන්නට වූ අතර සබඳතාව බිඳ දැමීමේ අරමුණින් ප්‍රසිද් ක්‍රිෂ්ණා කැඳවිණි. පෙර දිනයේ මෙන්ම යළි ප්‍රසිද් කෙටි පන්දුව යොමු කළ අත‍ර ඉන්දියාව බලාපොරොත්තූ වූ වරදම සිදු කළ කමිඳු උඩ පන්දුවක් ලබාදුන්නේය. නායක ශුබ්මන් ගිල් අනර්ඝ ලෙස උඩ පන්දුව රැක ගන්නා විට කමිඳු හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 55ක් ලබා සිටියේය.


තෙවැනි සැසිය ඇරැඹී පන්දුවාර 3ක් ඉක්ම යන විට යළි අසාර්ථක වූ නායක ධනංජය ලකුණු 23කට දැවී ගියේය. ඒ වන විට ශතකයට ආසන්න වෙමින් සිටි පසිඳු තරමක පීඩනයකට ලක්ව සිටි අයුරක් දිස් වූ අතර මානව් සුතර් හමුවේ පෙරට පැන පහරක් එල්ල කිරීමට උත්සාහ කරමින් ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය. විශිෂ්ට ඉනිමක් දියත් කළ පසිඳු පන්දු 173කට මුහුණ දෙමින් එක් හයේ පහරක් සහ හතරේ පහර 10ක් සමග ලකුණු 92ක් රැස් කළේය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 212කට කඩුලු 5ක් ලෙස සටහන් වූ අතර ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා එක් ලකුණක් පිටුපසින් පසු විය.


යළිත් අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 6කට දැවී ගිය අතර පස්වරු 4.37ට වර්ෂාව ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 229ක් රැස් කර තිබිණි. වර්ෂාව දැඩි වීම හමුවේ පස්වරු 4.40ට සිව්වැනි දිනය නිමා කිරීමට විනිසුරුවන් තීරණය කළේය. දිනය තුළ දෙවැනි වරටත් පන්දුවට පහරදෙන සොනාල් ලකුණු 7ක් සහ කේශර නුවන්ත ලකුණු 3ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර ඒ වන විට ශ්‍රී ලංකාව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 16ක් ඉදිරියෙන් පසු විණි.


තරගයේ අවසන් දිනය වන අද (27 වැනිදා) යළිත් උදෑසන 9.45ට තරගය ඇරැඹීමට නියමිතය.

 

More News..