brand logo
logo
දර ලිපෙන් පිළිකා හැදෙනවද?

දර ලිපෙන් පිළිකා හැදෙනවද?

15 August 2026 | අනීෂා මානගේ

ගෑස් ටැංකියෙන් ගිනි ඇවිළී ගෙපැල ගිනිගත් පුවත් අප කොතෙකුත් අසා ඇතිමුත් දර ළිපෙන් ගිනි ඇවිළි ගෙපැල ගිනිගත් බවක් මින් පෙර අසා නැති බවට සැක නැත. ඒත් හිරුටත් කලින් මුළුතැන්ගෙට වඩින අම්මාවරුන්ගේ හිත්වලට ගිය සතියේ ගිනි ඇවිළුණේය. එයටද හේතු වුණේ දර ළිප ය.


අම්මාවරුන්ගේ හිත ඇවිළූ දර ළිප් කතාව කීවේ පරිසර සෞඛ්‍ය හා වෘත්තිය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන ය. ඇය කීවේ මුළුතැන්ගෙයි දර ළිපෙන් අහිතකර වායූන් බොහෝමයක් නිකුත් කරන බවත් කාන්තාවන්ගේ පෙණහලු රෝග රැසකට මේ දූෂිත වායූන් හේතු වන බවයි. දර ළිපෙන් ඉවත්වීමට දැන් කාලය එළැඹ ඇති බවද ඇය සිහිපත් කළාය.


“වායු දූෂණය දැන් ලෝකයේ එන්න එන්නම වැඩිවෙලා. වායු දූෂණය නිසා මිලියන හතත් අටත් අතර ප්‍රමාණයක් අකල් මරණ වෙනවා. ලංකාවේ අවුරුද්දකට හත්දහසක් පමණ අකාලයේ මිය යනවා. ප්‍රධානතම හේතුව වාතයේ තියෙන අහිතකර වායු අංශූ. ගෘහස්ථ වායු දූෂණය පරිසර වායු දූෂණයට වඩා පස් ගුණයකින් වැඩියි. ගෙවල්වල දර ළිපෙන් උයද්දි අහිතකර වායු ගොඩක් නිකුත් වෙනවා. මේ අහිතකර වායු එළියට යන්න ක්‍රමයක් නැහැ. පෙණහලු පිළිකා ඉස්සර ගොඩක් තිබුණේ ‍සිගරැට් පාවිච්චි කරන පිරිමින්ට. දැන් කාන්තාවන්ගෙ පෙණහලු පිළිකා ගොඩක් වැඩිවෙනවා...” යැයි කියමින් වෛද්‍ය චාන්දනී විතාන රතු එළියක්ද දැල්වූවාය.


වෛද්‍ය චාන්දනීගේ කතාව සමාජ මාධ්‍යයෙන් ඇසූ බොහෝ උදවිය ඇයට අකුරු‍වලින් වෙඩි තියන්නට පටන් ගත්තේ හඳ දෙස නොබලා ඇඟිල්ල දෙස බලාගෙනය. ඔවුහු අටෝරාසියක් තර්ක විතර්ක ඉදිරිපත් කළහ. මේ උදවිය වැඩිපුරම ප්‍රශ්න කළේ, “අපේ හත්මුතු පරම්පරාවම ඉව්වෙ දර ළිපෙන්.. ඉහෙන් බහින ලෙඩක් හැදුණාදැයි...” කියාය.

අපේ රටේ උදවිය කොහොමත් කටට රසට කන්නට කැමැතිය. ගෑස් ළිපෙන් උයන කුකුළු මස් වෑංජනයට වඩා දර ළිපේ, මැටි හට්ටියේ උයන පරිප්පු හොද්දේ රසය සිය දහස් ගුණයකින් වැඩි බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. දර ළිපේ ඉදෙන පොළොස් වෑංජනයේ ගොජ ගොජ ශබ්දය ඇහුණත් බඩ පිරෙන ගාණය. කුස්සියම දර දුමෙන් වැහුණත් ගෙදර උදවියගේ බඩ කට පමණක් නොවේ හිතද පුරවන්නට අම්මලා බොහෝ කැමැතිය. ගෙදර ගෑස් ළිපක් තිබුණත් දර ළිපෙන් උයන්නට අම්මලා පෙලඹෙන්නේ ඒ නිසාය. හැරත් අද ගෑස් ටැංකියේ මිලේ හැටියට දර ළිපෙන් අහර පිසීම වාසිවන්නේ බඩට පමණක් නොවේ, පොකට්ටුවටත් වාසිය.

ඒ කොහොම නමුත් වෛද්‍ය චාන්දනී විතාන රතු එළි දැල්වූ දර ළිප ගැන තවදුරටත් තතු සොයන්නට අපට වුවමනා විය. වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය නිරන්ජන් චන්ද්‍රමාල්ගෙන් මේ ගැන විමසන්නට අප සිතුවේ ඒ නිසාය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පෙණහලු පිළිකා රෝහලේද කලක් සේවය කර ඇති හෙයින් ශ්වසන රෝග සම්බන්ධයෙන් ඔහුට ඇති අත්දැකීම් බොහෝය.

විශේෂඥ වෛද්‍ය නිරන්ජන් චන්ද්‍රමාල් පවසන්නේ ගෘහස්ථ වායු දූෂණයෙන් පෙණහලු ආශ්‍රිත රෝග ගැන ජනතාව මීට වඩා අවධානය යොමු කළ යුතුව ඇති බවයි. අපි ඔහුගෙන් ඇසුවේ අපේ රටේ ගෘහස්ථ වායු දූෂණයේ වර්තමාන තත්ත්වය කුමක්දැයි කියාය.

“දෙදහස් දහයේ පමණ සිට ගෘහස්ථ වායු දූෂණය ගැන වරින් වර කතා කළා. එදා ඉඳලම මේ ප්‍රශ්නය ගැන කතා කරනකොට සමාජයෙන් අපිට විරුද්ධවයි කතා කරන්නෙ. ඒකට හේතුව අපේ රටේ සංස්කෘතියත් ආගමික පසුබිමත්. හැබැයි ගෘහස්ථ වායු දූෂණයෙන් පෙණහලු පිළිකා, සීඕපීඩී හෙවත් පුප්ඵුසීය අවහිරතා රෝගය, ඇදුම වැනි රෝග ඇතිවීමේ දැඩි අවදානමක් තියෙනවා. ඒවා දීර්ඝ කාලීනව පෙණහලුවලට ස්ථීරවම හානිකරන රෝග. පෙණහලු පිළිකාවක් හැදුණොත් ප්‍රතිකාර නොකර මාස පහයි ජීවත් වෙන්න පුළුවන් වෙන්නෙ. අනිත් රෝග හැදුණොත් නිට්ටාවටම හොඳ කරන්න බැහැ. පාලනයක් පමණයි කරන්න පුළුවන්. අපි කියන්නේ මේ රෝග හැදිලා පාලනය කරනවාට වඩා හැදෙන එක වළක්වා ගැනීමයි වැදගත්....” විශේෂඥ වෛද්‍ය නිරන්ජන් කියන්නේය.

ඔහු කියන හැටියට දීර්ඝ කාලීන පෙණහලු රෝගවලට ප්‍රධානතම හේතුව දුම් පානයයි. පෙණහලුවලට පමණක් නොවේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන්වලට දුම්පානයෙන් බලපෑමක් වෙන්නේය. අපේ රටේ පිරිමි උදවියගේ පෙණහලු ආශ්‍රිත රෝග රැසකට බලපා ඇති ප්‍රධානතම කාරණාව දුම් පානයයි. ඒත් වර්තමානය වන විට අපේ උදවිය ක්‍රම ක්‍රමයෙන් දුම් පානයෙන් ඈත් වී සිටින්නෝය. වෛද්‍ය නිරන්ජන් කියන හැටියට අද වන විට දුම්පානය කරන පිරිමින් ඇත්තේ සියයට තිහක් පමණ පිරිසකි. දුම්පානයෙන් ඈත්වීම යහපත් කාරණාවක් වුවද ඊට සාපේක්ෂව පෙණහලු පිළිකාවල අඩුවීමක් නැති බව හෙතෙම කියන්නේය.

“පෙණහලු පිළිකාවල වර්ධනයක් තමයි අපි දකින්නෙ. මරණ සහ රෝගල්ගතවීම් පරීක්ෂා කිරීමේදී මුල් රෝග පහ ඇතුළත පෙණහලු රෝග තියෙනවා. 2024 වාර්තාවලට අනුව පුප්ඵුසීය අවහිරතා රෝගයට පමණක් වසරකදී තිස් අටදහසක් රජයේ රෝහල්වලට ඇතුළත්වෙලා තියෙනවා. මේ කියන්නේ රජයේ රෝහල්වලට පමණයි. ගෘහස්ථ වායු දූෂණය නිසා පෙණහලු රෝගවලින් ලංකාවෙ හාරදහසක පමණ පිරිසක් මිය යනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරල තියෙනවා. දුම්පානය අඩුවෙලා තියෙද්දි පෙණහලු රෝග වැඩිවීමට හේතුව තමයි රැකියා කරන වටපිටාව හා නිවෙසේ තත්ත්වය...”

වෛද්‍ය වාර්තා අනුව වඩාත් අවධානය යොමු කළ යුතු කාරණාව හැටියට විශේෂඥ වෛද්‍ය නිරන්ජන් පවසන්නේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ පෙණහලු ආශ්‍රිත රෝග වැලඳීමේ වර්ධනයක් වාර්තා වීමයි. මේ ගැන සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ පෙණහලු රෝග වැලඳුණු බොහෝ කාන්තාවන් වැඩිපුරම නිවෙසේ රැඳෙන ගම්බද අයවලුන් බවය.

වෛද්‍ය නිරන්ජන්ගේ අත්දැකීම් අනුව ඔහු පවසන්නේ තමා හමුවීමට පැමිණෙන පෙණහලු ආශ්‍රිත රෝගී කාන්තාවන් වැඩි පිරිස වයස අවුරුදු පනහ ඉක්මවූ අය බවයි. ඔහු අපට පර්‌යේෂණයක තොරතුරුද ඉදිරිපත් කළේය. ගිය අවුරුද්දේ එළිදැක්වූ මේ පර්‌යේෂණය කර ඇත්තේ අපේ රටේ රජයේ වෛද්‍ය විද්‍යාල කිහිපයක සහ රෝහල් කිහිපයක වෛද්‍යවරුන් විසිනි. ඒ, මෙරට පළාත් හතක උදවියගේ පුප්ඵුසීය අවහිරතා රෝගය ගැනය. වයස අවුරුදු හතළිහට වැඩි අය අතුරින් දස දෙනකුගෙන් එක් අයකුට පුප්ඵුසීය අවහිරතා රෝගය වැලඳීමේ අවදානමක් ඇති බව මේ පර්‌යේෂණයෙන් හඳුනාගෙන ඇත්තේය. කාන්තාවන්ට රෝගය වැලඳීමේ වර්ධනයක්ද එමගින් අනාවරණය වී ඇත්තේය.

කෙසේ නමුදු දර ළිපේ දුම ගැන වෛද්‍යවරුන් කළ හෙළිදරව්වට විරුද්ධ වූ බොහෝ උදවිය නැගූ ප්‍රශ්නය ගැන විශේෂඥ වෛද්‍ය නිරන්ජන්ගෙන් විමසන්නට අපි අමතක නොකළෙමු.

“අතීත මුතුන් මිත්තන් පාවිච්චි කළේ දර ළිප විතරයිනෙ. ඇයි එයාලට පෙණහලු රෝග වැලඳුණේ නැත්තෙ?”

“මෙහෙමයි. සාමාන්‍යයෙන් අවුරුදු හතළිහක පමණ කෙනෙක් ගත්තාම එයාලගේ එදිනෙදා වැඩකටයුතුවලට ගැළපෙන විදියට පෙණහලුවල ක්‍රියාකාරිත්වයක් තියෙනවා. පෙණහලුවලට හානිවෙන්න පටන් ගත්තත් එය නොසලකා හැරලා වැඩ කරගන්න පුළුවන්. හැබැයි රෝග ලක්ෂණ තියන අයට හෙම්බිරිස්සාවක් හැදුණත් හොඳ වෙන්න වැඩි කාලයක් ගතවෙනවා. වයසට යනකොට තමයි මේ හැකියාව අඩුවෙන්නෙ. එක්තරා වෙලාවකදී දැනෙන්න ගන්නවා වෙනදා වගේ වැඩ කරගන්න බැහැ කියලා. එතකොට ඒ අය තමන්ගේ වැඩ කරන වේගය අඩු කරලා සෙමින් වැඩපළ කරන්න පටන් ගන්නවා. එළියෙන් බලන කෙනකුට ඒක පේන්නෙ නැහැ. ආච්චි හොඳින් ඉන්නවා කියලයි හිතන්නෙ. අනිත් ප්‍රධානතම කාරණය වර්තමානය වෙද්දි ගොඩක් ගෙවල්වල දර ළිපෙන් ඉව්වත් දුම පිටවෙන්න ක්‍රමයක් නැති වීම. ඉස්සර එහෙම නෙවෙයි. එළියෙ මඩුවක දවල් වරුවෙ උයන්නෙ. නැත්නම් දුම් කවුළු තියෙනවා. ජනෙල් තියෙනවා. දැන් ගෙවල්වල දුම් කවුළු අඩුයි. එතකොට දුම පිටවෙන්න තැනක් නැහැ..”

දර ළිපෙන් කෑම පිසින අපේ උදවිය කරන තවත් අහිතකර කාරියක් විශේෂඥ වෛද්‍ය නිරන්ජන් අපට කීවේය. ඒ, ළිප පත්තු කරන්නට ඉටිකොළ, පත්තර, පොලිතින් යොදා ගැනීමය. ඉස්සර උදවිය දර ළිප් පත්තු කරන්නට ගත්තේ පොල් හනසු කැබැල්ලක්ය. පොලිතින් පුලුස්සන විට දරවලටත් වඩා විෂ දුම පිටවන බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත.

පෙණහැල්ල රැකගන්නට නම් දර ළිප වෙනුවට ගෑස් ළිපක් හෝ විදුලි උදුනක් භාවිත කරන්නට පුළුවන. ගෑස් ළිපේදී වෙන්නේ පූර්ණ දහනයක්ය. එය දැකගන්නට හැකිවන්නේ නිල් පැහැති දැල්ලක් පිටවීම මගින්ය. එහෙත් කහ පැහැති දැල්ලක් පිට වන්නේ නම් ගෑස් ළිපෙහි වුවද පූර්ණ දහනයක් වෙන්නේ නැත. විදුලි උදුනක නම් කොහොමත් දුම් පිටවන්නේ නැත. මේ කුමන උදුනක් වුවද ඇඟට ගුණ වන්නේ වඩාත් හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක තිබීමය. විශේෂඥ වෛද්‍ය නිරන්ජන් කියන හැටියට දර ළිප්, ගෑස් ළිප් සහ විදුලි උදුන් භාවිතය සම්බන්ධයෙන් කළ පර්‌යේෂණවලදී අනාවරණය වී ඇත්තේ දර ළිප්වල කෑම පිසින උදවියට සාපේක්ෂව අනෙක් ළිප්වලින් කෑම පිසින උදවියගේ පෙණහලු රෝග වැලඳීමේ අවදානම බොහෝ අඩුය.

වෛද්‍ය නිරන්ජන් පවසන්නේ පෙණහලු රෝගයක් වැලඳුණු විට ඉන් ශරීරයේ වෙනත් අවයවවලටද බලපෑමක් වන බවය. සීඕපීඩී හෙවත් පෙණහලුපුප්ඵුසීය අවහිරතා රෝගය ඇතිවූ විට එය හෘද රෝග ඇතිවීමටද අවදානමක් ඇත්තේය. පෙණහලු රෝගයකින් පීඩා විඳින රෝගීන් ඇතැම්විට හෘදයාබාධ හේතුවෙන් මිය යන බවද හෙතෙම කියන්නේය.

“පෙණහලු රෝග තියෙන සමහර අය මිය යන්නේ පෙණහලු රෝගය නිසා නෙවෙයි. හෘදයාබාධයක් නිසා. මේ රෝග දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා සොයාගෙන තියෙනවා. පෙණහල්ලක් හානි වුණාම එහි බලපෑමක් හෘදයට වෙනවා. රුධිර සංසරණ පද්ධතියට බලපෑමක් වෙන්න පුළුවන්. හෘදයට බලපෑමක් වෙනකොට වෙනත් අවයවවලටත් බලපෑමක් වෙනවා. ගොඩක් වෙලාවට අපි දකිනවා පුප්ඵුසීය අවහිරතාව තියෙන රෝගීන්ට හෘද රෝගත් තියෙනවා.” විශේෂඥ වෛද්‍ය නිරන්ජන් පැහැදිලි කරන්නේය.

දර ළිප් ගැන පමණක් නොවේ භූමිතෙල් ළිප ගැනද වෛද්‍යවරු අනතුරු අඟවන්නෝය. භූමිතෙල් ළිපෙන්ද අහිතකර වායූන් බොහෝමයක් පරිසරයට නිකුත් කෙරෙන බව විශේෂඥ වෛද්‍ය නිරන්ජන් කීවේය. එහෙත් නගරබදව වෙසෙන පැල්පත් වාසී උදවිය සේම වතු කම්කරු උදවිය බොහෝ දෙනෙක් වැඩිපුරම භාවිත කරන්නේ භූමිතෙල් ළිපය. ඒ මන්ද යත් ඉඩ පහසුකම් සීමිත වීමත් අඩු වියදමක් පමණක් වැයකරන්නට වීමත් නිසාය.

කවුරු කොහොම කීවද තමන්ගේ ගෙපැලේ වැඩ රාජකාරි පිළියෙල වෙන්නේ තමන්ගේ පොකැට්ටුවේ තරමටය. කුලී රස්සාවෙන් එදාවේල පිරිමහගන්නා උදවියට දහස් ගණන් වියදම් කරන්නට නොහැකිය. වත්තෙ පිටියෙන් සොයාගන්නා දර මිටියෙන් සතියක් හමාරක් බතට මාළුවක් පිසගන්නට පුළුවන. එහෙව් උදවියටද පිළියමක් විශේෂඥ වෛද්‍ය නිරන්ජන් කීවේය.

“අපේ රටේ තවමත් සියයට හැත්තෑවක් පමණ දර ළිප් භාවිත කරනවා. දර ළිප පාවිච්චි කරන්න එපාම කියලා අපි කියන්නෙ නැහැ. හරි විදියට කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. සංවෘත තැන්වල පාවිච්චි කරන්න එපා. හොඳින් වාතාශ්‍රය තියෙන තැනකයි දර ළිපක් පාවිච්චි කරන්න ඕන. උයනකොට ජනෙල් දොරවල් විවෘතව තියන්න...”

අහිතකර වායූන් පිටවන්නේ ළිපෙන් පමණක් නොවේ. මදුරු කොයිල්, හඳුන්කූරු, සාම්බ්‍රානි ආදී දුම් පිටකෙරෙන ද්‍රව්‍යවලින්ද බොහෝ අහිතකර වායූන් පිට කෙරෙන්නේය. විශේෂඥ වෛද්‍ය නිරන්ජන් පෙන්වා දෙන ආකාරයට මදුරු කොයිල් එකක් දහනය වීමේදී දුම්වැටි හැත්තෑ පහකින් පමණ පිට කෙරෙන දුම් ප්‍රමාණයක් වාතයට මුදා හරින්නේය. ඒ කියන්නේ විදුලි උදුනෙන් කෑම ඉව්වත් දිනපතා කාමරයේ මදුරු කොයිල් පත්තු කරන්නේ නම් පෙණහලු රෝගවලින් ආරක්ෂාවීම අසීරුය.

කෙසේ නමුදු පෙණහලු රෝග වැලඳීමේදී දුම් පානය, දූෂිත වායුන්වලට නිරාවරණයවීම පමණක් බලපාන්නේ නැත. ගලේ ගැහුවත් මරන්නට බැරි උදවිය දර ළිප මත හිඳගෙන හිටියත් පෙණහලු රෝග වැලඳෙන්නේ නැත. ඊට හේතු කාරණාද විශේෂඥ වෛද්‍ය නිරන්ජන් අපට පැහැදිලි කළේය.

“දුම් පානය කළත් ඒ අයගෙන් සියයට පනහකට පමණයි රෝග හැදෙන්නෙ. අනිත් රෝගත් ඒ වගේ තමයි. එයට ජාන සැකැස්ම බලපානවා. පොඩි කාලයේ පෙණහලු හැදුණෙ කොහොමද, ආසාධන ඇතිවුණාද කියන කාරණය බලපානවා. පෝෂණය, ප්‍රතිශක්තිය කොහොමද කියන කාරණා බලපානවා. දුමට නිරාවරණය හැම කෙනාටම රෝග වැලඳෙන්නෙ නැහැ. හැබැයි හැදෙන කෙනා කවුද කියලා කලින් කියන්නත් බැහැ. ඒකයි අපි කියන්නේ ආරක්ෂා වෙන්න කියලා.”


 

More News..