brand logo
logo
ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටයන් අගයන SLIM DIGIS ඇරඹේ

ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටයන් අගයන SLIM DIGIS ඇරඹේ

20 June 2025



ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය අගයන SLIM DIGIS වැඩසටහනේ නවතම අදියර (SLIM DIGIS 2.5) ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය [Sri Lanka Institute of Marketing (SLIM)] විසින් පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. 


SLIM DIGIS සම්මාන යනු ශ්‍රී ලංකාවේ ඩිජිටල් විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ඉහළම ඇගයුමක් ලෙස සැලකේ. මෙවර එහි තේමාව වන්නේ “Futurecrafting Digital Sorcery” යන්නයි. පසුගිය වසරේ මෙම වැඩසටහන සඳහා ක්ෂේත්‍ර 15 කට අධික සංඛ්‍යාවකින් නාමයෝජනා 265 ක් ඉදිරිපත් වූ අතර මෙවර එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 


"ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ දියුණුවට සමගාමීව SLIM DIGIS යනු විවිධ වූ වෙනස්කම් සමගින් ඉදිරියට යන වැඩසටහනකි. එය මෙම වසරේදී විශිෂ්ටතමයන් ඇගයීමෙන් නොනැවතී විශිෂ්ටත්වයට ආදර්ශ සැපයීම අපගේ ප්‍රධාන බලාපොරොත්තුවයි. වත්මන් ලෝකයේ අලෙවිකරුවන් යනු ප්‍රේක්ෂකයන් වශීකෘත කිරීම සහ සැබෑ පරිවර්තනයන් සිදු කිරීම සඳහා දත්ත, නිර්මාණශීලිත්වය සහ තාක්ෂණය සම්මිශ්‍රණය කරන නූතන යුගයේ මායාකරුවන් පිරිසක් ලෙස හැඳින්වීමට පුලුවන්" ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති මහාචාර්ය දේවසිරි එන් ජයන්ත මහතා පැවසීය.


ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය පුළුල් වීමට සමගාමීව මෙවර SLIM DIGIS 2.5 වැඩසටහන AI Integration, Digital Creative Content, Performance Marketing සහ Ad Tech ඇතුළු ප්‍රධාන අංශ 18ක් යටතේ සම්මාන පිරිනැමීමට නියමිත අතර Best Use of Immersive Technologies සහ Best Use of Data & Predictive Intelligence යනුවෙන් නව සම්මාන කාණ්ඩ දෙකක් ද මෙවර සම්මාන උළෙලට ඇතුළත් කර තිබේ.


"SLIM DIGIS 2.5 යනු හුදෙක් ඩිජිටල් අලෙවිකරණ විශිෂ්ටත්වය පමණක්ම ඇගයෙන සම්මාන උළෙලක් නොවෙයි. මෙම සම්මාන වැඩසටහන ඔස්සේ අපි ඩිජිටල් ක්ෂේත්‍රයේ මීළඟ පරිච්ඡේදය සනිටුහන් කිරීමට අපේක්ෂා කරන අතර නව කාණ්ඩ යටතේ අනාගතය ඉලක්ක කරගත් නව දැක්මක්ද සමගින් එළිදකින මෙම සම්මාන උළෙල ඩිජිටල් අවකාශය තුළ සන්නාම වල පැවැත්ම, ක්‍රියාකාරීත්වය සහ නවෝත්පාදනය අලුතින් නිර්වචනය කරමින් එහි පුරෝගාමීන් හට සම්මාන පිරිනමන සුවිශේෂී සම්මාන උලෙළක් බවට පත්වේවි" යැයි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපති (ව්‍යාපෘති හා තිරසාර සංවර්ධන) ඉනෝක් පෙරේරා මහතා පැවසීය.


"SLIM DIGIS යනු එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය අගයන ප්‍රධානතම සම්මාන උළෙලක් ලෙස හැඳින්වීමට පුලුවන්.එය නව්‍ය නිර්මාණශීලී සහ ක්‍රමෝපායික සීමාවන් අතික්‍රමණය කිරීමට ක්ෂේත්‍රය දිරිගන්වනවා" ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපති (අධ්‍යාපන හා සමීක්ෂණ) ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා පැවසීය.


"ඩිජිටල් නිම්වළලු පුළුල් කරන දූරදර්ශී විශිෂ්ටතමයන් ඇගයීම SLIM DIGIS 2.5 අපගේ ඉලක්කයයි. ඩිජිටල් අලෙවිකරණයේ අනාගත යහපැවැත්ම, ක්‍රමෝපායන් හා තාක්ෂණය වැඩිදියුණුව තුළින් පමණක් නොව නවෝත්පාදන ඔස්සේ ඩිජිටල් ක්ෂේත්‍රය නැවත පරිකල්පනය කරමින් එයට නව මුහුණුවරක් එක් කිරීම අපගේ බලාපොරොත්තුවයි" SLIM DIGIS 2.5 ව්‍යාපෘති සභාපති අනුක් ද සිල්වා මහතා පැවසීය.


අද දවසේ වඩාත්ම ආකර්ෂණීය අදහස් පැනනගින්නේ තාක්ෂණය, නිර්මාණශීලිත්වය සහ නිර්භීතභාවය එකිනෙකට සම්මුඛ වීම තුලිනුයි. සම්ප්‍රදායන් අනුගමනය කිරීම වෙනුවට සම්ප්‍රදායන් නිර්මාණය කිරීමට සමත් වූ ප්‍රවර්ධන වැඩසටහන් DIGIS 2.5 තුළ දී ඇගයීමට ලක් වේවි. SLIM DIGIS යනු ලංකාවේ වඩාත්ම ඉදිරිගාමී ඩිජිටල් මනස් ඇගයෙන වේදිකාවයි" විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානී ශලේන්ද්‍ර මෙන්ඩිස් මහතා පැවසීය.


SLIM DIGIS 2.5 සඳහා ඔබේ නාමයෝජනා නොපමාව යොමුකරන්න. මේ සඳහා 2025 ජූනි 30 දින දක්වා අයදුම්පත් භාරගැනීම සිදුවනවා. අයදුම් කිරීමේ ක්‍රියාපටිපාටිය සහ ඊට අවශ්‍ය ලිපිලේඛන අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැක. වැඩිදුර තොරතුරු සඳහා 070 326 6988 අංකයෙන් ගංගානි අමතන්න. නැතිනම් www.slim.lk/slim-digis වෙත පිවිසෙන්න. 




 

More News..