brand logo
logo
 ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ 4ම ආසියාවෙන්

ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ 4ම ආසියාවෙන්

27 October 2026 | •චම්පිකා දීපානි රණසිංහ

කලින් වීසා බලපත්‍ර නොගෙන විදෙස් රටකට යාමට හැකි බලවත්ම ගමන් බලපත්‍රයක් තිබීම ගමනක බර අඩකින්ම සැහැල්ලු කරන කාරණයකි. වීසා අයැදුම්පත්, තානාපති කාර්යාලවල පෝලිම්, සම්මුඛ පරීක්ෂණ මේ සියල්ලටත් වඩා වීසා ලැබෙන තුරු කෙනකුට සති ගණන්, මාස ගණන් බලා සිටීමට සිදුවීම ඉවසීමේ රතු කට්ට පන්නන හේතු වෙති. පුද්ගලයකුට පමණක් නොව රටකට ද බලවත්ම විදේශ බලපත්‍රයක් (පාස්පෝට්) තිබීම ඒ රටේ ජාත්‍යන්තර තත්ත්වය පෙන්නුම් කරන්නකි. මේ නිසාම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) නිල දත්ත භාවිත කරමින්, හෙන්ලි පාස්පෝට් දර්ශකය වාර්ෂිකව නිකුත් කරනු ලබයි. ‍මෙය වසරකට සිව් වරක් නිකුත් කරනු ලබන අතර මේ වන විට 2026 ඔක්තෝබර් වාර්තාව ද නිකුත්වී අවසානය. ඒ අනුව ලොව බලවත්ම ගමන් බලපත්‍රයට හිමිකම් කියන රට වන්නේ සිංගප්පූරුවය. සිංගප්පූරු වැසියකුට වීසා නොමැතිව රටවල් 193කට යා හැකිය.


දෙවැනි ස්ථානයට පත්වී ඇත්තේ ජපානය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE)යි. ඒ රටවල පුරවැසියකුට රටවල් 188කට වීසා නොමැතිව ගමන් කළ හැකිය. ඒ අනුව බැලීමේදී ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ර හිමි රටවල් ලැයිස්තුවේ පළමු ස්ථාන 4ම ආසියානු කලාපයට හිමිව තිබීම කැපී පෙනෙයි.


ස්වීඩනය තෙවැනි තැනට පත්වී තිබෙන්නේ රටවල් 187කට යාමට අවස්ථාව උදාකර ගනිමිනි. සිව්වැනි තැනට පත් ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, අයර්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය රටවල පුරවැසියකුට රටවල් 186කට හැකියාව තිබේ. ඇමරිකාව ඇත්තේ දස වැනි ස්ථානයේය.


නවතම හෙන්ලි විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය 94 වැනි තැන හිමිකර ගෙන තිබේ. 2024 වසරේත්, 2025 වසරේත් ලංකාව සිටියේ 96 වැනි තැනේය. අපේ රටේ ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා නොමැතිව ගමන් කළ හැකි රටවල් ගණන 39කි. සාර්ක් රටවල් අතරින් ලංකාව නේපාලය, බංග්ලාදේශය සහ පකිස්තානයට වඩා ඉදිරියෙන් සිටියි. අපේ අසල්වැසි ඉන්දියාව 84 වැනි තැන සිටින අතර ඉන්දියානුවකුට වීසා නොමැතිව රටවල් 55කට යාමට අවස්ථාව උදාවී තිබේ.


බටහිර රටවල් අබිබවා සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරියෙන් සිටීම සුවිශේෂී කරුණකි. මේ අතර හෙන්ලි විදෙස් ගමන් බලපත්‍ර දර්ශකය, දුර්වලම ගමන් බලපත්‍රය හිමි රටවල් ද නම් කර ඇත. ලොව දුර්වලම (බලයෙන් හීනම) ගමන් බලපත්‍රයට හිමිකම් කියන්නේ ඇෆ්ගනිස්තානයය. ඇෆ්ගනිස්තාන ජාතිකයකුට වීසා නොමැතිව යා හැක්කේ රටවල් 22කට පමණි. සිරියාව දෙවැනි තැනත් ඉරාකය තෙවැනි තැනත් පසු වන්නේ පිළිවෙළින් රටවල් 26කට සහ 29 කට වීසා රහිතව යා හැකි පරිද්දෙනි. පකිස්තානය, යේමනය, සෝමාලියාව, නේපාලය, බංග්ලාදේශය, එරිට්‍රියාව, උතුරු කොරියාව සහ පලස්තීන ප්‍රදේශය දුබල විදෙස් ගමන් බලපත්‍රවලට හිමිකම් කියන අනෙක් රටවල්ය. මේ රටවල ගමන් බලපත්‍රයේ බලය මෙසේ හීන වී ඇත්තේ යුද ගැටුම්, දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික අර්බුද සහ ජාත්‍යන්තර වශයෙන් පවතින සීමා සහිත රාජ තාන්ත්‍රික සබඳතා හේතුවෙනි.

බලවත් ගමන් බලපත්‍රයකට හිමිකම් කියන රටක පුරවැසියකු වෙනත් රටවල නීති විරෝධීව රැඳී සිටීමට ඇති ඉඩ අවමය. බලවත් ගමන් බලපත්‍රයකට හිමිකම් කියමින් ලෝකයේ ඕනෑම තැනකට බාධාවකින් තොරව නිදහසේ ගමන් කළ හැකි වීම කෙනකුට හොඳ සංචාරයන්හි යෙදීමට සහ ජීවන තත්ත්වය උසස් කර ගැනීමට ලැබෙන කදිම අවස්ථාවකි.

 

More News..