roadBlockAd
brand logo
logo
සෝබර්ස් නැතිනම් අර්ජුන නෑ....

සෝබර්ස් නැතිනම් අර්ජුන නෑ....

04 August 2025 | රෂ්නිකා ලියනගේ

ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබී මේ වසරට හතළිස් හතර වසරකි. සිය පළමු ටෙස්ට් ජය ලබා හතළිස් වසරක් සපිරීමට තවත් ඉතිරිව ඇත්තේ මාසයක පමණ කාලයකි. මේ සෑම තැනකම පාහේ අපට සිහිවන එක ක්‍රීඩකයෙක් සිටින්නේය. ඔහු අර්ජුන රණතුංගය. ඔහු ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය නියෝජනය කළේය. එමතු නොවේ. අර්ජුන ශ්‍රී ලංකාවට පළමු සහ මේ දක්වා එකම එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ නියමුවා ද විය. ඔහු අපට රැකදුන් අය අතර ඉහළින්ම බටහිර ඉන්දීය කොදෙව්වෙක් සිටී. ඔහු නැතිනම් අපට අර්ජුන නැති වන්නට ද ඉඩ තිබිණ.


කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපන හැදෑරූ අර්ජුන සිංහල ක්‍රීඩා සමාජය (S.S.C) වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළේ ය. සිය ක්‍රීඩා දිවිය නිවැරැදි මගට යොමු කළ වඩාත් සුවිශේෂ පුද්ගලයා අර්ජුනට හමු වූයේ සිංහල ක්‍රීඩා සමාජය නිසාය. අන්තර් සමාජ වයස අවුරුදු විසිතුනෙන් පහළ තරගයකට සහභාගී වෙමින් සිටියදී ඔහුට එම විශේෂ තැනැත්තා මුණ ගැසිණ. ඒ වෙනත් කිසිවකු නොව ලොව සුපිරිම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස බොහෝ දෙනා සලකන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් ය.


ඔහු එදා මෙදා තුර විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ද ඉහළින්ම සිටින්නෙකි. මංගල ටෙස්ට් ශතකය වැඩිම ලකුණු සංඛ්‍යාවක් බවට පත් කළ ක්‍රීඩකයා ලෙස වාර්තා පොතේ පළමු තැන සිටින්නේ සෝබර්ස් ය. ඔහු සිය පළමු ශතකය අවසන් කළේ 365 අංකයෙනි. ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ ළාබාලතම ක්‍රීඩකයා ලෙස තවමත් වාර්තාව දරන්නේ ද සෝබර්ස් ය. පන්දු වාරයක දී පිට පිට හයේ පහර හයක් එල්ල කළ ලොව පළමු ක්‍රීඩකයා ද ඔහු වේ. එංගලන්ත ප්‍රාන්ත තරගවල දී නොටින්හැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ඔහු එම දස්කම දැක්වීය. ග්ලැමෝගන් හි දඟ පන්දු යවන්නකු වන මැල්කම් නෑෂ් ඔහුගේ ප්‍රහාරයට ගොදුරු වූයේ ය. එමෙන්ම වරක් ඔහු ඉයන් චැපල්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග වැදුණු ලෝක ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 254 ක් රැස් කළේ ය. එනිසා ගාෆීල්ඩ් සෝබර්ස් යනු යම්තමින් හෝ ක්‍රිකට් දන්නා අයකු වීරයකු ලෙස සලකන්නකි. එවැන්නකුගේ ප්‍රසාදයට පාත්‍ර වන්නා වාසනාවන්තයකු බවට විවාදයක් නැත. අර්ජුන රණතුංගට ඒ අවස්ථාව හිමිවිය.


“ඔබ ක්‍රීඩා කරනවා දැක්කම මට මගේ අතීතය මතක් වුණා.”


සිංහල ක්‍රීඩා සමාජය (S.S.C) නියෝජනය කරමින් අර්ජුන සහභාගි වූ තරගය දුටු අවස්ථාවේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් පැවසීය. ඒ ඔවුන් හමු වූ ප්‍රථම අවස්ථාවයි. තරුණ ක්‍රීඩකයකු ලෙස එය තමාට හිමිවූ විශාල ගෞරවයක් බව රණතුංග කියයි.


සෝබර්ස් ක්‍රීඩා කරද්දී එම තරග නැරඹීමට අතුරු සිදුරු නොමැතිව ජනයා රැස්වූහ. 1967 දී මෙම සුපිරි ක්‍රීඩකයා ශ්‍රී ලංකාවට පැමිණියේය. තරගය ආරම්භයටත් පෙරම ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන් විය. ඒ ගැන සාක්ෂි දරන්නේ සෝබර්ස්ගේ ප්‍රහාරය නැරඹීමට ම හොර පාරෙන් පිටියට රිංගූ ලොව ප්‍රසිද්ධ ම ඒක පුද්ගල ක්‍රිකට් රසිකයා වන පර්සි අබේසේකරයි. සෝබර්ස් සහ පර්සි ගැන කතා කරද්දී අසූ තුනේ ජූලි කලබලය ද මග හැර යා නොහැක. 1983 ජූලි 28 වැනිදා සිය 47 වැනි උපන් දිනය සැමරූ සෝබර්ස් එදාම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගියේ නැවත මව්රට යාමටයි. ඔහු ඇරලවීමේ ගමනට පර්සි ද සහභාගි වෙද්දී කළු ජූලියෙන් රටම ගිනි ගනිමින් තිබුණේය. බේස්ලයින් මාර්ගය ඔස්සේ දෙමටගොඩ මංසන්ධිය පසු කරද්දී ම වාහනය පිරිසක් විසින් නවතනු ලැබීය. ඒ වෙද්දී රථ කිහිපයක් ද දැවෙමින් තිබිණ. වැඩේ නරක අතට හැරෙන බව තේරුම් ගත් පර්සි වහාම වාහනයෙන් බිමට බැස්සේය. ඒ සෝබර්ස්ගේ පැහැය අනුව ඔහු දෙමළ යනුවෙන් සිතා මරා දමනු ඇති බව පර්සි කල්පනා කළේය.


“තමුසෙලට පිස්සුද? මම පර්සි. පිටිපස්සෙ ඉන්නෙ සර් ගාෆීල්ඩ් සෝබර්ස්”


“මොකාද ඕයි පර්සි? ගාෆීල්ඩ් කියන්නෙ මොකෙද්ද?”


ඇත්ත පහදා එදා පර්සි, සෝබර්ස් බේරාගත්තේ ය. එසේ නොවන්නට වරින් වර අර්ජුන ඔප දමන්නට මෙන්ම පසුගිය සඳුදා සිය 89 වැනි උපන් දිනය සැමරීමට ද සෝබර්ස්ට අවස්ථාව නොලැබීමට ඉඩ තිබිණ.


අර්ජුන රණතුංග ක්‍රිකට් ක්‍රීඩාව අරඹද්දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබී තිබුණේ නැත. දීර්ඝ කාලීන පරිශ්‍රමයක ප්‍රතිඵලයක් ලෙස 1981 ජූලි 21 දා මෙරටට ටෙස්ට් වරම් ලැබිණ. 1982 පෙබරවාරියේ දී ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි විය. ඒ, එංගලන්තයට එරෙහිව බොරැල්ල වනාතමුල්ලේ පී. සරවනමුත්තු (සරා ඕවල්) පිටියේදීයි. ඊට සහභාගි වීමේ අවස්ථාව අර්ජුන රණතුංගට ද ලැබිණ. තමාගේ තරුණ කාලය මතක් කළ යෞවනයා ගැන සෝබර්ස්ගේ කියැවීම නිවැරැදි කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට එවකට දහ අට හැවිරිදි වියේ පසු වූ අර්ජුනට හැකියාව ලැබිණ. එහෙත් අනතුරුව ඔහුට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමි වූයේ නැත. 1983 ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ස්ථාපිත කළ පුහුණු සංචිතයට ද තමා ඇතුළත් නොවූ බව අර්ජුන පවසයි. එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී දිසානායක ප්‍රථම වරට විදෙස් පුහුණුකරුවකු කැඳවීමට තීරණය කළේ ඒ අතරය. දැඩි වෙහෙසක් සේම පිරිවැයක් දරා ගාමිණී දිසානායක අමාත්‍යවරයා මෙරටට ගෙන්වා ගත්තේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් ය. එය තමාගේ ඉරණම තීන්දු කරන පියවරක් බව අර්ජුන රණතුංග දැන සිටියේ නැත. ඒ වන විට ද ක්‍රිකට් කෙරෙහි අර්ජුනගේ ආසාව හීනවෙමින් තිබිණ.


“මම ටීම් එකේ නැති වුණාම මාත් ටිකක් කලකිරුණා. ඒ නිසා අධ්‍යාපන කටයුතුවලට වැඩි අවධානයක් දුන්නා. රට යන්නත් සැලසුම් කරලා තිබුණේ. ඒ වෙලාවේ තමයි එවකට ගාමිණී දිසානායක ඇමැති, ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මෙරට ජාතික ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කළේ. තිස්පහක් විතර වුණු පුහුණු සංචිතයේ මා හිටියේ නෑ.”


ශ්‍රී ලංකාවට පැමිණි පසු තමා ඉදිරියට පැමිණි සංචිතය පුරා ඇස් යැවූ සෝබර්ස්ට අඩුවක් දැනිණ. ඔහු සෙවූ කෙනා ඒ අතර නැත. ඔහුට ඕනෑ වූයේ අර්ජුනයි. හෙතෙම වහාම නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ විමසීය. ඔවුන්ගේ පිළිතුර වූයේ දක්ෂතා නොදැක්වූ බැවින් අර්ජුනට සංචිතයේ ඉඩ හිමි නොවූ බවයි. එහෙත් සෝබර්ස්ට අර්ජුන ඕනෑම විය. එබැවින් අතිරේක ක්‍රීඩකයකු ලෙස ඔහුට කණ්ඩායමේ ඉඩක් ලැබිණ.


“ඔහු එදා මා කැඳවූයේ නැතිනම් මගේ ක්‍රිකට් සදහටම නවතින්නත් තිබුණා. සෝබර්ස් මගෙන් විශේෂත්වයක් දකින්න ඇති. නියමිත පුහුණුවීම්වලින් පසු ඔහු මා වෙනුවෙන් වැඩිපුරත් අභ්‍යාස කළා. මං ඔහුගෙන් බොහෝ දේ ජීවිතයට එකතුකර ගත්තා. මට හමුවූ සොඳුරු මිනිසුන් අතර අදටත් ඔහු ඉහළින්ම සිටිනවා.”


1983 ලෝක කුසලාන තරගාවලියට පෙර ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. එම තරගාවලිය සඳහා නම් කෙරුණ ශ්‍රී ලංකා සංචිතයට අතිරේක ක්‍රීඩක අර්ජුන ඇතුළත් කිරීමට සෝබර්ස් පියවර ගත්තේය. ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු එක්දින තරගය සරා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ. එහි ජය ලැබුණේ ශ්‍රී ලංකාවටයි. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස පුහුණු කරවමින් තිබූ අර්ජුන මුල්කාලීනව පන්දු යවන්නකු ලෙස වැඩි කාර්යයක් කළේය. පිතිකරු ලැයිස්තුවේ ඔහුට හිමි වී තිබුණේ පහ, හය වැනි ස්ථානයි. එම තරගයේ දී ඔහු කඩුලු දෙකක් දවාගත් අතර ලකුණු 10ක් ද වාර්තා කළේය. සරා ක්‍රීඩාංගණයේ දීම පැවැති ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැන්න රණතුංගගේ තරගය විය. ඔහුට කඩුල්ලක් සමග නොදැවී ලකුණු 55කි. ශ්‍රී ලංකාව ජයගත් එම තරගයේ වීරයා අර්ජුන රණතුංගයි. සෝබර්ස් බලෙන් කැඳවූ ක්‍රීඩකයාගේ ප්‍රතිඵල ලැබුණේ එලෙසිනි. අනතුරුව මොරටුවේ දී තුන්දින තරගයක් පැවැත්වීමට නියමිත විය. අර්ජුන ද කණ්ඩායමේ සිටියේ ය. ක්‍රීඩාංගණයට යාමෙන් පසු ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් තරුණයා ඇමතීය.


“ඔයා අද සෙල්ලම් කරන්නේ නැහැ. ඔයාට සනීප නෑ.”


“මට කිසිම අසනීපයක් නැහැනේ.”


“නෑ. ඔයාට අසනීපයි.”


පුහුණුකරු හා වාද කිරීම ඵලක් නැති බැවින් අර්ජුන එතැනින් පිටත් විය. එකල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සීමාවී තිබුණේ එක්තරා පැළැන්තියකටයි. පරිබාහිර අයකුට ඊට ඇතුළුවීම පහසු නැත. ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ද පැවැත්වීමට නියමිත විය. සෝබර්ස්ගේ හිත කීවේ ම තුන් දින තරගයට යෙදවීම ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අර්ජුන ඉවත් කිරීමට හේතුවනු ඇති බවයි. එම සැකය නිසාම සෝබර්ස් තමා විවේක ගැන්වූ බව අර්ජුන විශ්වාස කරයි. සෝබර්ස් ගත් තීරණය නිවැරැදි කරමින් අර්ජුනට 1983 අප්‍රේල් 22 වැනිදා අස්ගිරියේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයට අවස්ථාව ලැබිණ. පළමු ඉනිමේදී කඩුල්ලක් දවාගත් රණතුංග ලකුණු 90ක් රැස් කළේය. දෙවැනි ඉනිමේදී ලකුණු 32කි. එය සෝබර්ස්ගේ සොම්නසට හේතුවිය. හෙතෙම නවකයා අමතා ප්‍රසාදය පළ කළේය.


“මම ඔබේ දක්ෂතාව දැක්කා. මං ඔයාව හරි පාරට දැම්මා. දැන් ඒ පාරේ යන්න තියෙන්නේ. ඔයා ඔයාගේ ගමන යන්න.”


ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් යොමු කළ මාවත දිගේ ගොස් ඉන් වසර 13කට පසු ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය ගෙන ඒමට නායකත්වය දුන්නේ අර්ජුන ය. ඇතැම්විට සෝබර්ස් විසින් ලුහුබැඳ ගොස් අල්ලාගනු නොගත්තේනම් ඔහු අපට අහිමි වීමට තිබූ සම්පතකි.


හැකි සෑම මොහොතකදීම සෝබර්ස් අසලම සිටිමින් සංවාද කිරීමට තමා ප්‍රිය කළ බව රණතුංග කියයි. ක්‍රීඩා දිවියේ සිය අත්දැකීම්, පැරණි කතා මෙන්ම ක්‍රිකට් හා බැඳුණු විවිධ දේ සෝබර්ස් රසවත්ව පැවසීම ඊට හේතුවයි. අර්ජුන පවසන්නේ ඒ කතාබහෙන්ද තමා පෝෂණය වූ බවයි.


ක්‍රීඩාව ඔප් නැංවීමට අමතරව ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් පුහුණුකරු කිරීමෙන් ගාමිණී දිසානායක අමාත්‍යවරයා තවත් යමක් බලාපොරොත්තු විය. ඒ වර්ණභේදවාදය පැවැති ඒ කාලයේ ශ්‍රීමත් නාමයෙන් පිදුම් ලද කළු ජාතික සෝබර්ස් මගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ශක්තියක්, ආත්ම විශ්වාසයක් දීමයි. සියල්ලන් සමග සුහදව ක්‍රියා කළ සෝබර්ස්, ශ්‍රීමත් නාමයෙන් කිසිවිට උඩඟු වූයේ නැත. 1983 ලෝක කුසලානයට එංගලන්තයට ගියවිට එය පැහැදිලිව දැකගත හැකිවිය. මග හමුවන අය ‘හෙලෝ ගැරී’ ලෙස ඇමතීම ඔහුට අමුත්තක් නොවූ බව අර්ජුන කියයි. එහෙත් කල්ලන් පෙළන සුද්දන් හමුවේ ඔහු කිසිවිට නිහඬ වූයේ නැත. ශ්‍රී ලංකා කණ්ඩායම ද එවැනි අත්දැකීමකට මුහුණ දුන්නේ ය. තරගයක් අවසන් කර පැය කිහිපයක ගමනකින් පසු සියල්ලෝ රාත්‍රිය ගතකරන හෝටලයට ළඟා වූහ. එහෙත් කාමර සූදානම් නැත. සියල්ලන්ට සිදු වූයේ ලොබියෙහි කල්මැරීමටයි. ක්‍රීඩකයන් තෙහෙට්ටුවෙනි. නිලධාරීන් ද එසේමය. එහෙත් හෝටල් කාර්ය මණ්ඩලයට වගේ වගක් නැත. ඊට හේතුව කළු සම විය හැක. ලොබියෙහි අසුන්ගෙන සිටි සෝබර්ස්ගේ මුහුණේ වූයේ අප්‍රසාදයකි. ඔහු අසලම අසුන් ගත් අර්ජුන එය මැනවින් දුටුවේ ය.


“ටික වේලාවකින් සුදු කාන්තාවක් කාමරවල යතුරුත් රැගෙන අපේ නම් කතා කළා. ඇය ‘මිස්ටර් සෝබර්ස්’ කියද්දී සෝබර්ස් ප්‍රතිචාර දැක්වූයේ නෑ. ඔහු අසලම සිටි නිසා මම කිව්වා ‘සර් ගැරී, ඉට්ස් යුවර් කී’ කියලා. ‘නෝ, ඉට්ස් නොට් මයින්’ ඔහු පිළිතුරු දුන්නේ එහෙම. නැවත වතාවක් ඒ විදියටම වුණා. ඒත් ඔහු ඇහුණේ නෑ වගේ හිටියා. මම නැවතත් ඔබේ යතුර කියා ඔහුට කීවත් ඔහු කිව්වේ එය ඔහුගේ නොවේ කියා. එතකොට මට තේරුණා අපිට නොකිව්වට මේ හැසිරීමට හේතුවක් තියෙන බව. තුන්වෙනි වතාවටත් සුදු කාන්තාව ‘මිස්ටර් සෝබර්ස්’ කියා ඇමතූ විට අපේ කණ්ඩායම් කළමනාකරු ඊට මැදිහත් වුණා. ඒ වෙලාවේ අතේ තිබූ පත්තරේ පසෙකින් තැබූ සෝබර්ස් කාන්තාව අසලට ගියා. ‘ආ යූ මිස්ටර් සෝබර්ස්?’ කියා ඇය ඇසුවා. ඊට සෝබර්ස් පිළිතුරු දුන්නේ මේ විදියට. ‘නෝ.අයි ඈම් නොට් මිස්ටර් සෝබර්ස්. අයි ඈම් සර් ගාෆීල්ඩ් සෝබර්ස්. අයි ඩිඩ්න්ට් ආස්ක් ෆො ඉට්. යුවර් ක්වීන් ගේව් ඉට් ටු මී. සෝ යූ බෙටර් කෝල් මී සර් ගාෆීල්ඩ් සෝබර්ස්.’ මගතොටදී ගැරී කියා අමතන කිසිවකුට විරුද්ධ නොවන ඔහු එදා ඒ විදියට කළේ අපව ඔවුන් අවතක්සේරු කළ නිසා. මිනිසුන්ට සලකන්න ඕනේ මොන විදියටද කියලා ඔහු එදා ඔවුන්ට පණිවුඩයක් දුන්නා.”


ලොව කොතැනකදී වුව අර්ජුනට උපදෙස් දීමට සෝබර්ස් මැළි නොවීය. සිය දරුවකු මෙන් ඔහු අර්ජුන කෙරෙහි සැලකිලිමත් විය. පිතිකරණයේ දුර්වලතාවක් ගැන ඉන්දියාවේ දී අර්ජුනට සෝබර්ස්ගේ ගුරු හරුකම් ලැබුණේ එබැවිනි. අර්ජුන එම දුර්වලතා ඉක්මනින් හදා ගත්තේය.


අර්ජුන රණතුංග පවසන්නේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් ඉතා සුන්දර මිනිසකු බවයි.


“අලුත් ක්‍රීඩකයන්ව ඔහු ඉතා හොඳින් බලාගත්තා. ඒ දවස්වල අපට ඉහළ ගෙවීම් නැහැනේ. සමහර වෙලාවට ඔහු අපිව එළියට ගෙනිහින් කන්න බොන්න අරන් දෙනවා. ඒ වියදම් දරන්නේ සර් ගැරී. අපිට හරිම සුහදයි. වෙලාවකට තාත්තා වගේ. තව වෙලාවක සහෝදරයෙක් වගේ. තවත් විටෙක යාළුවෙක් විදියට අපිත් එක්ක හිටියා. ඒවායින් නායකයකු වීමට බොහෝ දේ මම ඔහුගෙන් ඉගෙන ගත්තා. කණ්ඩායමක කොහොමද ඉන්න ඕනෙ කියන එක මට මූලිකවම ඔළුවට ආවේ එයාගේ හැසිරීම නිසා. ගාමිණී දිසානායක මහත්තයා එක්ක, බෝඩ් එකේ අය එක්ක ඔහු ඉන්නෙ එක විදියකට. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එක්ක තව විදියකට. ඊට වෙනස් විදියකටයි අප එක්ක කටයුතු කළේ. පිටත දී සම්පූර්ණයෙන්ම වෙනස්. ඒවා මට ඔහුගෙන් ලැබුණු වටිනා පාඩම්.”


සෝබර්ස් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට මෙන්ම සංස්කෘතියට ද ඇලුම් කළේය. ඇතැම් විට ක්‍රීඩකයන්ගේ නිවෙස් වෙතද ගියේය. එහිදී ඔහු වෙනුවෙන් වෙනම අහර පිසීමේ අවශ්‍යතාවක් නැත. ඒ ඔහු මෙරට අහර රටාවට හුරුව සිටි බැවිනි. අර්ජුනගේ නිවසට ද ඔහු අවස්ථා කිහිපයකදී පැමිණියේ ය.


1996 දී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් පසු ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, අර්ජුන රණතුංග වෙත දුරකතන ඇමතුමකින් සුබ පැතීය. එවකට පුහුණුකරු නොවූවත් තමා නිවැරැදි මාර්ගයේ තැබූ ක්‍රීඩකයා ජයග්‍රහණයේ නියමුවාවීම ඔහුගේ සිත අමන්දානන්දයට පත් කළ බව නිසැකය. අර්ජුන රණතුංග පවසන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් කළ යමක් වේනම් එහි ගෞරවය ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ටත් ලැබිය යුතු බවයි.

 

More News..