පවුලක්ම අළු කළ කඩුවෙල ගින්න ගැන තවත් තොරතුරු රැසක්
19 November 2026
පවුලක්ම අළු කළ කඩුවෙල ගින්න ගැන තවත් තොරතුරු රැසක්
19 November 2026
කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක අද (19) අලුයම හටගත් ගින්නෙන් ඇති වූ දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් එකම පවුලේ සිව්දෙනා මියයන්නට ඇති බවට සැක කරන බව පොලීසිය පවසයි.
එමෙන්ම, ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවට ද පොලිසිය සැක පළ කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ ගොඩනැගිල්ලේ විදුලි උපකරණ අලෙවිසැලක් පවත්වාගෙන ගිය 35 හැවිරිදි නාරද සඳරුවන්, ඔහුගේ 28 හැවිරිදි බිරිඳ ලක්ෂිකා මධුශානි සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා වන පස්හැවිරිදි දිලෙනි හසන්‍යා සහ දෙහැවිරිදි ඔනෙලි පහන්යා යන අයයි.
කඩුවෙල නගරයේ පිහිටි මහල් දෙකකින් සමන්විත විදුලි උපකරණ අලෙවිසැලේ මෙම ගින්න හටගෙන තිබුණේ අද අලුයම 5.30ට පමණය.
ගින්න මැඩපැවැත්වීම සඳහා පොලිසිය සහ කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කඩිනමින් පියවර ගෙන තිබූ අතර, අනතුරුව ගිනි නිවන භටයන් විසින් වෙළෙඳසැලේ උඩුමහල පරීක්ෂා කිරීමේදී ඇඳක් මත තිබී යුවළගේ සහ දරුවන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
මියගිය පවුලේ සාමාජිකයන් තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඇතැම් දිනවල එම ගොඩනැගිල්ලේ උඩුමහලේ පිහිටි පසුපස කාමරයක ඔවුන් රැඳී සිට ඇති බවට අනාවරණ වී තිබේ.
එමෙන්ම, ඔවුන් නිදා සිටි උඩුමහලේ පිටවීමේ දොරටුව විවෘත කළ නොහැකි පරිදි සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ බව ද පොලීසිය සඳහන් කරයි.
මියගිය සිව්දෙනාගේ සිරුරු මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
සිද්ධිය වූ ස්ථානය සොකෝ නිලධාරීන් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර, කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ද අද දහවල් එහි ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


