අඟුලාන මුහුදේ නාවිකයින් දිවි බේරාගැනීමට කැපවූ පොලිස් නිලධාරීන් අගයයි
21 August 2026
අඟුලාන මුහුදේ නාවිකයින් දිවි බේරාගැනීමට කැපවූ පොලිස් නිලධාරීන් අගයයි
21 August 2026
අඟුලාන මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් වූ නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුර යානාවේ සිටි නිලධාරින්ගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් දස දෙනෙකුට ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර තිබේ.
ඒ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් නාවික හමුදා මූලස්ථානයේදීය.
ඒ අනුව අඟුලාන පොලිස් බල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර මහතා, අඟුලාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකු වෙත අදාළ ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කෙරිණි.
මෙම ගලවා ගැනීමේ මෙහෙයුමේදී වෘත්තීයභාවයෙන්, නිර්භීතකමින් හා ක්ෂණික මැදිහත්වීමකින් යුතුව කටයුතු කරමින් නාවිකයින්ගේ ජීවිත බේරා ගැනීමට ලබාදුන් අගනා දායකත්වය මෙහිදී නාවික හමුදාපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් වූ බව සඳහන්ය.
එමෙන්ම, සිය රාජකාරී සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ජීවිතාරක්ෂක මෙහෙයුම සඳහා දැක්වූ අඛණ්ඩ කැපවීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉතා ගෞරවාන්විතව සිහිපත් කරන ලදී.
තවද, මෙම ජීවිතාරක්ෂක මෙහෙයුමේදී නාවිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ලබාදුන් සහයෝගය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පවතින ශක්තිමත් අන්තර් ආයතනික සහයෝගීතාවයේ සුවිශේෂී නිදසුනක් වන බව නාවික හමුදාව නිවේදනය කරයි.
එම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ඇගයීම ඉවහල් වනු ඇතැයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

