brand logo
logo
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

20 September 2026 | ඉන්දික සංජිව විතාන-හොරණ


අඟුරුවාතොට පොලිස් වසමට අයත් පෙතිගමුව කන්ද ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රී 11.30ට පමණ සිදුවූ බහින්බස්වීමක් අතරතුර මල්ලී විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් 38 හැවිරිදි අයියා ජීවිතක්ෂයට පත්ව ඇත.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හල්තොට, බාලසූරිය මාවත, පෙතිගමුවකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි වාද්දුවගේ නිලන්ත ධනුෂ්ක නමැති 38 හැවිරිදි එක්දරු පියෙකි.


මියගිය තැනැත්තා නිතර බීමත්ව නිවසේ අඬදබර ඇති කරගන්නා අයකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.


පොලිසිය සඳහන් කරන ආකාරයට, එදින රාත්‍රියේ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී මත්පැන් පානය කර සිටි මියගිය පුද්ගලයා එම ස්ථානයේදී ද ආරවුල් කිහිපයක් ඇති කරගෙන ඇති බවයි.


පසුව නිවසට පැමිණි ඔහු මවගේ නිවසට ගොස් මව මරා දමන බවට පරුෂ වචනයෙන් බැන වැදී දොර කැඩීමට උත්සාහ කර ඇත.


එහිදී මව සහ මියගිය පුද්ගලයාගේ පුත්‍රයා බියට පත්ව බේරීම සඳහා නිවස පිටුපස පිහිටි බාල පුත්‍රයාගේ නිවස වෙත ගොස් ඇති අතර, එහිදී දෙදෙනාව බේරා ගන්නා ලෙස ඉල්ලා තිබේ.


මෙහිදී බාල සහෝදරයා දොර විවෘත කර මව සහ මියගිය පුද්ගලයාගේ පුත්‍රයා නිවස ඇතුළට ගෙන දොර වසාගෙන ඇත.


කෙසේ වෙතත්, මියගිය පුද්ගලයා පොල්ලකින් පහර දෙමින් සහ පයින් ගසමින් සහෝදරයාගේ නිවසේ දොර කඩාගෙන ඇතුළු වී ඇත.


එම අවස්ථාවේදී එම නිවසේ සිටි බාල සහෝදරයාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා බිම නිදාගෙන සිට ඇති අතර, මියගිය තැනැත්තා ඉදිරියට පැන මවට පහර දී ඇත්තේ එක් දියණියකගේ බෙල්ලද පාගමින් බව පොලිසිය සඳහන් කරයි.


පහරදීමෙන් බේරීමට මව අත් දෙකෙන් අල්ලාගැනීමේදී ඇගේ ඇඟිලි කැඩී යන තරමට පහර දී ඇති අතර, එයින් නොනැවතුණු ඔහු තම මවගේ හිසටද පොලු පහරක් එල්ල කර ඇත.


තවත් පොලු පහරක් දීමට උත්සාහ කළ අවස්ථාවේදී, ඇය බේරා ගැනීමේ අරමුණින් 34 හැවිරිදි සැකකාර බාල සොහොයුරා විසින් අසල තිබූ මන්නයකින් තම අයියාට පහරදී ඇති බව පොලිසිය පවසයි.


එම පහරදීමෙන් ඔහුගේ බෙල්ල සම්පූර්ණයෙන්ම වෙන්වී ඇති අතර, මුහුණ සහ උරහිස් ප්‍රදේශයේද කැපුම් තුවාල සහිතව එම මොහොතේම මියගොස් ඇත.


අදාළ සිදුවීමෙන් පසුව සැකකාර සහෝදරයා විසින්ම සිය දුරකථනයෙන් පොලිසියට තොරතුරු ලබාදී ඇති අතර, වහා ක්‍රියාත්මක වූ අඟුරුවාතොට පොලිසිය පැමිණ වාද්දුවගේ ක්‍රිෂාන්ත සුදේශ් නමැති 34 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


ප්‍රහාරයෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ මරණකරුගේ මවද තුවාල ලබා මේ වනවිට හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.


මීට සතියකට පමණ පෙරද මියගිය තැනැත්තා විසින් සිය පියාට පහරදී තුවාල සිදුකර තිබූ අතර, පියාද මේ වනවිටත් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.


මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රාජකරුණාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත පැවැත්වේ.

 

More News..