රජයේ සේවකයන් පොලු අතට ගත් දවස!
29 November 2026
රජයේ සේවකයන් පොලු අතට ගත් දවස!
29 November 2026
මාලිමා ආණ්ඩුවට මෙතෙක් කලක් මුහුණ දෙන්නට සිදුවූයේ ඔවුන් විසින්ම පරාජයට පත් කරනු ලැබූ දේශපාලන බලවේගවලටය. හිටපු ජනාධිපතිවරුන්ට හිමිව තිබූ නිල නිවාසවලින් ඔවුන්ව නෙරපා ඔවුනගේ ආරක්ෂාවට සිටි පරිවාර සෙබළුන්, සේවකයන් අඩුකර ඉන් නතර නොවී ඔවුනගේ විශ්‍රාම වැටුපත් අහිමි කිරීමෙන් ඒ බලවේග මෙල්ල කර ගැනීමට ආණ්ඩුවට පුළුවන්කම ලැබිණ. ඊළඟට ජනතාවට පොරොන්දු වූ පරිදි හොරු ඇල්ලීමේ කටයුතු මුල් කරගෙන ඉදිරියට යමින් අලුතින් නැගිටින්නට හදන දේශපාලන බලවේගවලට මුහුණ දෙන්නට පුළුවන්කම ලැබිණ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර බණ්ඩාර කෙහෙල්කැන්, තැඹිලි, කුරුම්බා අරගෙන ලාල්කාන්ත අමාත්‍යවරයාගේත්, විදුලිබල අමාත්‍යවරයාගේ පුද්ගලික නිවස ඉදිරිපිටට යමින් කළ විරෝධතාව අසූචි ප්‍රහාරයකින් නතර කරගන්නට පුළුවන්කම ලැබිණ. ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ගනිමින් සිටියදී තවත් රාජ්‍ය ආයතනයකින් දීමනාවකුත් ගත් වරදට රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණ සුගීෂ්වරට ගෙදර ගිහින් බත් කන්නට ලැබුණේ මාස පහකට පසුය. හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ රූපවාහිනී නාලිකාවකින් ආණ්ඩුවට අභියෝග කර කෙටි කලක් ඇවෑමෙන් ඔහුගේ පුත්‍රයා පාතාලයකුට තම පියාගෙන් විශේෂ පහසුකම් ලබාදීමට පොරොන්දු වෙන හඬපටයක් එළියට ආවේය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කාලයේ වංචා, දූෂණ විමර්ශන කෙටුම්පත් හැදූ විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයාගේ පුත්‍රයා ඒ පනත යටතේම රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණ. කෙසේ වෙතත් විජයදාස රාජපක්ෂගේ සාකච්ඡාවත්, පුතා අපරාධ චූදිතයකු වූ රිමාන්ඩ් බන්ධනාගාරගත වීමෙත් සබඳතාවක් නැතැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් එතැනින් පසු හිටපු අධිකරණ ඇමැතිවරයාගේ අභියෝගාත්මක සාකච්ඡාවක් ඇසුණේ නැත.
නාමල් රාජපක්ෂ විපක්ෂ නායකවරයාද පසුකරගෙන ඉදිරියට එමින් සිටියේය. ඔහු ජනතාව අතරට එමින් සංවිධානය කළ අනුරාධපුරයේ මහ රැලියට පෙරාතුව නඩු දෙකකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ. ඔහුත් පොහොට්ටුවත් සිරවී සිටින්නේ මල්වත්ත පන්සලේ දොරට දා තිබෙන දඬුඅගුල බඳු උපායකටය. එක පැත්තක් අගුල මුදන විට අනෙක් පැත්තෙන් අගුල වැහෙයි. එක නඩුවකට ඇප ලැබෙනකොට අනෙක් නඩුවට රිමාන්ඩ් කාලය දීර්ඝ කෙරෙයි.
ඊළඟට ආණ්ඩුවට බරපතළ අභියෝගයක් ඉදිරිපත් කරන්නට ඉදිරියට ආවේ බෞද්ධ ආගමික බලවේගයය. ගලබොඩ අත්තේ ඥානසාර හිමිගේ චීවරය ගලවා සරමක් අන්දවා උසාවි ගෙන ඒමට එරෙහිව නුවර සිට කොළඹට ආ භික්ෂු විරෝධය මුලදී ආණ්ඩුව සසල කළේය. එහෙත් ඒ සටන සංඝරාජයකු නැති සාසනය පරිද්දෙන්ම අරාජික වූයේය. අනුරාධපුර රුවන්වැලි සෑය අසල වැතිරී දුටුගැමුණු නිරිදුන් වාගේ පණ අදිමින් භික්ෂු විරෝධය ඉදිරියට යද්දී රාජංගණයේ චීවරධාරියාගේ තට්ටෙට පොලු පහරක් වැදෙන තැනට වැඩ සැලසීමෙන් ඒ සටන කෙළවර කරගත්තේය.
රිළා ප්රශ්නය, දිට්වා කුනාටුවේ ප්රශ්නය, වැව් පිටිය මැනීමේ ප්රශ්නය කාවන්තිස්ස ඇත් ප්‍රශ්නයද ආණ්ඩුව මුහුණ දුන් ප්රශ්නය. එහෙත් මෙවර අයවැය සමග ඉදිරියේදී ආණ්ඩුවට අභියෝග කරන්නට එන්නට පටන්ගෙන තිබෙන්නේ වෙනස්ම පිරිසකි.
ඔවුන් රිළවුන්, ඇතුන්, ගොවීන්, භික්ෂුන්, දිට්ටාවෙන් වැනසුණු කුටුම්භ බඳු නොවේ.
දැන් ආණ්ඩුව සමග සටනක් දෙන තැනට එන්න පටන්ගෙන සිටින්නේ වැඩකරන ජනතාව පෙරටුකරගත් වෘත්තීය සංගම්ය. මෙවර අයවැය ඉදිරිපත් කළ වහාම වෛද්‍යවරු, ගුරුවරු සේම රාජ්‍ය සේවකයෝ, විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වසර දෙකකට පසු තම පුල්ලි පෙන්වන්නට පටන් ගැනීමෙන් ඒ බව පෙනේ. ඔවුහු හැත්තෑ හතර වසරක් තිස්සේ පැවැති ආණ්ඩු කළවුන් ගෙදර යවන්නට ඉදිරියට ආ පිරිසය.
බණ්ඩාරනායක බලයට ගෙනෙන්නට පාරට ආ පංච මහා බලවේගයේ තුන්වැනි තැනට සිටි ගුරුවරු එක්දහස් නවසිය පනස්හයටත් වඩා සංවිධානාත්මකව එකාවන්ව මාලිමාව වෙනුවෙන් ගෙන්ගෙට ගියේය. ගුරුවරුන්, මාලිමාවේ ප්‍රතිපත්තිත් අරගෙන සිය ගණනින් පේළි සැදී ගෙන් ගෙට ගියේ පාසල් ළමයි පාසල ඇරී ගෙදර යන්නාක් සේය. ලොව පුරා පැතිරෙන කොරෝනා මාරක වසංගතයෙන් ආරක්ෂා වීමට එකෙක් තවකෙකුගෙන් ඈත්ව ජීවත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නියම කර තිබියදී ලොව කොතැනකවත් නොවූ විදිහට ලංකාවේ ගුරු වර්ගයාම මහා පාරේ මහ පෙළපාළි ගියේ දශක ගණනාවක් තිස්සේ තිබූ වැටුප් විෂමතාව දුර කරන්නැයි රජයට බල කිරීමටය. අතීත ආණ්ඩුත් ඒවායේ පාලකයනුත් පිළිකුල් කෙරන තැනට වෛද්‍යවරු වැඩ කළේ ආචාර්යධර්ම පවා නොතකමිනි. ඒ අනුව හොරු යැයි මාලිමාවේ ගර්හාවට ලක් වූ මැති ඇමැතින්ට ප්‍රතිකාර කිරීමත් ඇතැම් වෛද්‍යවරු ප්‍රතික්ෂේප කළෝය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට ගිය ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයාට ‘පාදඩ දේශපාලනඥයකුට ප්‍රතිකාර කරන්නේ නැතැයි’ කියා වෛද්‍යවරයකු විසින් හරවා එවනු ලැබිණ. ගෝඨා ගෝ ගමට පහර දෙන්නට ගොස් බරපතළ තුවාල ලත් අය රෝහල්ගත කළ විට ඔවුන්ට රෝහලේදී පහර දී පන්න දැමුවේ හෙද හෙදියෝ සහ සුළු සේවකයෝය. රජයේ සේවකයන් දැක්වූ මේ පිළිකුළ අලුත්ම ආණ්ඩුවකට පාර කැපුවෝය. කිසිදු රජයේ සේවකයකු රහසිගතව දේශපාලනය කළේ නැත. ඔවුන් දේශපාලනය කළේ එළිපිටය. එබඳු කැපවීමක් කළ රජයේ සේවකයන්ට වසරකට දෙවතාවක් පඩි වැඩි කිරීමටද, ගුරුවරුන්ගේ වැටුප් විෂමතා සපුරා ඉවත් කිරීමටද, ඉහළ වෘත්තිකයන්ට පනවා තිබූ බදු බර අඩුකර දීම ආදී බොහෝ යෝජනා මාලිමාව ඔවුන් වෙත ඉදිරිපත් කළේය. ඒ නිසා මේ සටනට එන්නේ මෙතෙක් ආණ්ඩුවට අභියෝගයක් වූ වඳුරන්, රිළවුන්, කාවන්තිස්ස ඇතුළු ඇත්තු, වී විකුණාගත නොහැකි ගොවීන්, භික්ෂුන් බඳු පිරිසක් නොවේ. සටන් කළ සහ ප්‍රතිඥා ලැබූ සංවිධානාත්මක පිරිසකි. ඔවුහු මාලිමාව රජගෙදරට යවන්නට වියන් ඇල්ලූහ. ඔවුන් එකාවන්ව ඇල්ලූ වියන යටින් මාලිමාව රජගෙදරට ගෙනිහින් වසර දෙකකි. රජගෙය දොරකඩ වියන ඇල්ලූ රජයේ සේවකයෝ දෙවසරක් බලා සිටියෝය. මේ මාලිමාවට වියන් ඇල්ලූ රජයේ සේවකයෝ ඉවසිය නොහැකිව ඒ පොලු උරුක් කරන්නට සූදානම් වන කාලයයි.


