brand logo
logo
මේ දිනවල ගම් නගර පුරා සැරිසරන සමනල් සන්නිපාතය ගැන නෑසූ කතාව

මේ දිනවල ගම් නගර පුරා සැරිසරන සමනල් සන්නිපාතය ගැන නෑසූ කතාව

11 November 2026

කහ පාට මල් පෙති සිය ගණනක් එකම දිශාවකට ගසා ගෙන යනවාක් මෙන් කහ පැහැති සමනලුන් එක යායට පියාඹයි. මේ දිනවල ගම් නගර කියා වෙනසකින් තොරව ලංකාවේ බොහෝ පෙදෙස්වලට මේ සමනල සංචරණයේ සුන්දරත්වය අත්දකින්‍නට හැකිය. බත්කූරෙක්, සලඹයෙක්, සමනලයෙක් කළු නික මෙන් වූ නාගරික පරිසරයකට මෙවැනි දසුන් අරුමැතිය. කොළඹ කොටුව ඇතුළු ජනාකීර්ණ නගර ආශ්‍රිතව, අධිවේගී මාවත්වල පවා කහ සමනලුන් රංචු පිටින් පියඹන සොඳුරු දසුනක් හිටිහැටියේම අපිට දිස්වූයේ කෙසේද?

මෙසේ අපට දකින්නට ලැබෙන්නේ යාල, ලුණුගම්වෙහෙර, උඩවලව, තණමල්විල, කුමන, පානම වැනි ප්‍රදේශවල බෝවුණු කහ සමනලුන්ය. සෑම වසරකම නොවැම්බර්, දෙසැම්බර් මාසවල සමනලුන් සංචරණය වුණත් එය මෙතරම් කැපී පෙනීමක් නොවූයේ මේ සා විශාල රංචු පිටින් සංචරණය වීමක් නොවූ බැවිනි. විනාඩියකට තුන් හතර දෙනකුට වඩා සංචරණය වෙනවා වෙනදාට දක්නට නොලැබේ.

තවත් කරුණක් වන්නේ උන්ගේ සංචරණ මාවත් වෙනදාට වඩා වෙනස් වීමය. වෙන කාලවලදී සමනලුන් මධ්‍ය කඳුකරය හරහා කොත්මලේ නිම්නයට පියඹා ගොස් කොත්මල නිම්නය ඔස්සේ මහවැලි ගඟ දිගේ සංචරණයවේ. ඊළඟට උන් කලා ඔය නිම්නයට ළඟාවේ. විල්පත්තුවෙන් මුලතිව්, කිලිනොච්චි පැතිවලින් සංචරණය නිමවේ. මෙවර උන් යන්නේ මුහුදු තීරය ඔස්සේය. උන් පියඹන්නේ පොළොවට මඳක් ඉහළිනි. උන් ගමන් ගන්නා සීමාවේ වැස්ස, මීදුම වැනි බාධක නිසා මෙවර විකල්ප මාර්ගයක් තෝරා ගත්තා විය යුතුය. සියුමැලි සතුන් විශේෂයක් වන සමනලුන් පියාඹන්නේ වායු ගෝලය රත්වීමෙන් ලැබෙන බලය උපකාර කරගනිමිනි. හිරු එළිය සහ මාවත රත්වී උණුසුම ඉහළට නඟින තැන් සංචරණයට තෝරා ගැනීමෙන් උන්ගේ ගමන පහසුවේ. උස් ගස් ඇති තැන් උන් මඟ හරින අතර බොහෝ විට කැමැති කුඹුරු යායවල්, මංමාවත් පිට්ටනි, දිගේ සංචරණය කිරීමටය. එයට හේතුව ඒ ස්ථානවලදී වායු ගෝලය රත්වීමෙන් ලැබෙන බලය උන්ට උපකාර කරගත හැකි වීමය.

අධිවේග මාර්ග සමනල සංචරණයන් වඩාත් පහසු කරයි. ඉදිරියට පහසුවෙන් තල්ලුවෙමින් යන ගමනේ එකම අවාසනාවන්ත සිදුවීම වන්නේ උන් වාහනවල හැප්පී අනතුරට පත්වීමය. විශේෂයෙන්ම කොළඹ සිට යන වාහනවලට හැප්පී මිය යාමේ වැඩි ඉඩක් පවතී. අධිවේගයේ සංචරණය වීම සමනලුන්ට අතුරේ යාමක් වැනිය.

මෙවැනි සමනල උල්පතක් මතුවූයේ කෙසේද?

මෙය පසුගිය කාලයේ පැවැති කාලගුණ විපර්යාසයේ ප්‍රතිඵලයක් වීමට පුළුවන. මීට මාස දෙකකට කලින් යාල වනෝද්‍යානය වැනි තැන් පවා වියළී, කර්කෂ වී තිබිණි. මේ කාලයේදී මිනිස්සු සතුන්ට කෘත්‍රිම වතුර වළවල් පවා සාදා ජලය සැපයීමට පියවර ගත්හ. එහෙත් ක්ෂණිකව ඇද හැලුණු මහ වැස්ස නිසා රණවරා, වා, ඇහැල වැනි මහ ගස් දලුදා වැඩෙන්නට විය. මේ හේතුවෙන් සමනලුන්ට ආහාර පාරාදීසයක් මැවිණි. දැන් රංචු පිටින් සංචරණය වන කහ සමනලුන්ගේ ප්‍රධාන ධාරක ශාක වන්නේ ද එවැනි ශාකය. උන් ඒවායේ බිත්තර දමයි. මෙසේ බෝවුණු උන් තමන්ගේ ඉදිරිපරපුර වඩාත් සුරක්ෂිත කිරීමට පරිසරයේ හොඳම තැන සොයා සංචරණය කරයි.

විද්‍යාත්මකව තවම සහතික කර නැතත් සමනලුන් මෙසේ රංචු පිටින් වෙන තැනක් සොයා යාමට හේතූන් කිහිපයක් බලපායි. එක් හේතුවක් වන්නේ ආහාර හිඟකමය. මේ පරපුරේ දළඹු ගහනය වැඩි නම් එයින් අදහස් වන්නේ ඊළඟ පරපුරට ප්‍රමාණවත් තරම් ආහාර එහි නැති බවය. එනිසා විශාල බිත්තර ප්‍රමාණයක් දැමීමට හැකි දලු ඇති ගස් සොයා උන් පියාසලයි. උන් සංචරණය කළ යුත්තේ උතුරු වියළි කලාපයටය. මේ වනවිට උතුරු වියළි කලාපයේ ශාක දලුවලින් සාරය. එවැනි තැනකට යාමෙන් උන්ට තමන්ගේ ඊළඟ පරපුරේ පැවැත්ම සහතික කළ හැකිය. අනෙක් හේතුව වන්නේ විශාල දළඹුවන් සංඛ්‍යාවක් සිටියදී දළඹුවන්ම යැපෙන පරපෝෂිතයන් වැඩිවීමය. දළඹුවගේ සිරුරේ බිත්තර දමන සියුම් සතුන් සිටියි. උන්ගේ ගහනය ද වැඩිවිය හැකිය. පරපෝෂිත ගහනය නිසා ඊළඟ දළඹු පරපුරත් සමනල ගහනයත් නැතිවී යා හැකි බැවින් ඒ පළාත අත්හැර යාමට පියවර ගනියි.

දුර කතර ගෙවමින් කරන මේ සංචරණයේදී මල්පැණි අවශ්‍යතාව සපුරා ගන්නේ කෙසේද? විශේෂයෙන් නගර මැදින් යාමේදී උන්ට පැණි බීමට තරම් මල් තිබේද යන පැනය මෙහිදී අපට මතුවන්නේය.

කරුණු මෙසේය. ආක්‍රමණික ශාක වසංගතයක් සේ පැතිරී තිබීම අපේ රටේ පසුගිය කාලවකවානුවල සමනලුන් රංචු ගැසී යන සුන්දර දර්ශනය දක්නට නොලැබීමට එක් හේතුවකි. අපේ අය මාන කියා හඳුන්වන (දේශීය මාන නොවේ.) ගිනි ග්‍රාස් ආක්‍රමණික ශාකය අපේ සමනල් ගහනය අඩු වීමට තදින්ම බලපා තිබේ. කහ සමනලුන් වාගේම තවත් සමනලුන් විශේෂ ගණනාවක්ම මෙසේ සංචරණය විය යුතුය. කලින් කහ සමනලුන්ටත් වඩා දක්නට ලැබුණේ මීට තරමක් කුඩා සුදු සමනලුන්ය. සමනලුන් සිරිපා වන්දනාවේ යනවා යන ජන මතය ගොඩ නැඟුණේ ද මේ සුදු සමනලුන් නිසාය. උන්ගේ බෝවීමට පැණි තෝර, පෙති තෝර, රණවරා වැනි ශාක අවශ්‍යය. වියළි කලාපයට දිගටම පායා වහින විට එය ජනවහරේ හඳුන්වන්නේ පෙති තෝර වැස්ස ලෙසිනි. ඒ කාලයට මුළු වියළි කලාපය පුරාම පෙති තෝර ගස් දැකිය හැකිය. තෝර ගස්වල බිත්තරවලින් සෑදෙන සමනලුන් උතුරෙන් දකුණටත් දකුණෙන් උතුරටත් සංචරණයවේ. අපේ ප්‍රධාන සමනල සංචරණය වී තිබුණේ එයය. එහෙත් උසට වැඩෙන ආක්‍රමණශීලී තෘණ ශාකය හේතුවෙන් තෝර ගසකට යළි වැඩෙන්නට නොහැකි ලෙසින් පළාත් වසා ගෙන ඇත. මේ නිසා සමනලුන්ට ධාරක ශාක අහිමි වෙමින් පවතියි. සුදු සමනලුන්ට මේ තත්ත්ව දැඩි ලෙස බලපා ඇති නිසා ගහනය අඩුවී ඇත. මේ ආක්‍රමණශීලී තෘණ ශාකය තවත් ආකාරයකින් සමනල ගහනයට බාධාවක්වේ. අපේ මොනරකුඩුම්බිය, කඩු පහර, බලු නකුට වැනි ශාක සංචරණයේ යෙදෙන සමනලුන්ට පැණි බී කුසගිනි නිවා ගැනීමට උපකාරී විය. වර්තමානයේ මාවත්වල මෙවැනි ශාක දක්නට නැති තරම්ය. මේ හේතුවෙන් සංචරණය අවසන් වන විට දුබලතාව නිසා සමනල ගහනයෙන් වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබීමට පුළුවන. සාමාන්‍යයෙන් පියෑඹීම සඳහා විශාල මල්පැණි ප්‍රමාණයක් පානය කිරීමේ අවශ්‍යතාවක් නැත. බොහෝ දුරට උන් භාවිත කරන්නේ දළඹු අවස්ථාවේදී තිබූ ශක්තියයි. එහෙත් අතර මැද පැණි බීමට ලැබීම උන්ට ඊළඟ පරපුර බිහි කිරීමට ලැබෙන ශක්තියකි.

සමනලයෙක්ගේ ආයු කාලය සති දෙකකට තුනකට සීමා වන අතර සංචරණය සඳහා උන්ට ගතවෙන්නේ දින තුන හතරක් පමණි. උන්ට යාල සිට විල්පත්තුවට යාමට ගතවන්නේ දින තුනක පමණ කෙටි කාලයකි. අතර මඟ වැස්සොත් දින හතරක් පමණ ගතවේ. සමනලයෙක් පැයට කිලෝමීටර් තිහක පමණ වේගයෙන් පියඹයි. වාහනවල වැදී අනතුරට පත් වීමත්, මල්පැනි ඇති ශාක නොමැති වීමත් උන්ගේ ප්‍රධාන සංචරණ බාධාවන්ය.

මෙවැනි මහා සමනල් ගහනයක් බිත්තර දැමීම නිසා බිහිවන දළඹුවන්ගෙන් ඉදිරියේදී වගා හානියක් සිදුවිය හැකිද යන පැනයද කෙනෙකුට මතුවිය හැකිය.

සමනලුන් බිත්තර දාන්නේ අපේ කෘෂිකාර්මික ශාකවල නොවන නිසා එවැනි වගා හානියක් ඇතිවීමට ඉඩක් නොමැත. ඇහැල, රණවරා ආදී ශාක මෙන්ම වනයේ හැදෙන ශාක උන්ට ‘ප්‍රසූතිකාගාර’ වන්නේය. එහෙත් අපේ වගා බිමක් හරහා පියෑඹීමේදී උන්ගේ ජීවිතවලට තර්ජන එල්ලවිය හැකිය. උන් සංචරණය වෙන වගා බිමක කෘමිනාශක ගසා තිබ්බොත් ඒ ගහනයම විනාශ වේ. එවැනි වගාවක ශාකයකින් මල් පැණි බොන සමනල්ලු මිය යති. ඒ වාගේම ඩෙංගු මදුරුවන් විනාශ කිරීමට යොදන දුමායනය ද මදුරුවාගේ විනාශයට වඩා හේතුවන්නේ සමනලුන්, බත්කූරන්, සලබයන් වැනි පරිසර හිතකාමී සතුන්ගේ විනාශයටය.

සිරිපා කරුණා කරන සමයට සමනලුන් ද සිරිපා වන්දනාවේ යන බවට ජනප්‍රවාදයක් ද තිබේ. මේ සතුන් යන්නේ සමනල කන්දටද?

සමනලුන් මධ්‍යම කඳුකරයට යාම සිරිපා වන්දනාවේ යාමක් ලෙස සිතන්නට පැරැන්නෝ පුරුදුවී සිටියහ. මෙය මෑත කාලයේ සමනල කන්ද ලෙස ප්‍රචලිත වුවත් ඒ සමනල අඩවියය. සමනල අඩවියට හෝර්ටන් තැන්නේ සිට නුවරඑළිය ඇතුළත්ව විශාල කලාපයක් අයත් විය. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සමනල අඩවිය පටුවී සමනල කන්ද වඩාත් ප්‍රකට විය. සමනලුන් යන්නේ සමනල කන්දට නොවේ. උන් සමනල අඩවිය හරහා පියඹා යයි. සමනල කන්දේ රාත්‍රියට දැකිය හැක්කේ සලඹයන්ය. රාත්‍රියට කැලේ මැදින් පෙනෙන දැවැන්ත ආලෝකයට ගිනි කන වදින සලබයන් ගල මත්තේ ගැටී මියයයි. මෙය ආලෝක දූෂණයක් කියා හැඳින්විය හැකිය. දැවැන්ත විදුලි එළි සලඹයන්ට සොහොන් තැනීම ඛේදනීය සිදු වීමකි. මිනිසුන්ට සිදුවූ දේ ගැන අවබෝධයක් නැති අතර ඔවුන් සිතන්නේ සිරිපා වන්දනාවට පැමිණ සමනලුන් සිය දහස් ගණනක් දිවි පුදා ඇති බවය.

සමනලුන්ගේ පැවැත්ම පරිසරයට මොනතරම් වැදගත්ද යන්න අප බොහෝදෙනෙක් නොදන්නා කරුණකි.

සමනලයාගෙන් පරිසරයට සිදු වන අංක එකේ මෙහෙය පරාගණය කියා වැඩි දෙනක් සිතති. එහෙත් ඔවුන් පරිසරයට ඉතා වටින්නේ ආහාර දාමයේ පළමු පුරුක් අතර සිටීමේ හේතුවෙනි. උදා - සමනල දළඹුවා මත විශාල පරපෝෂිත පිරිසක් යැපෙති. මෙය පරිසර පද්ධතියක පොහොසත් බව මනින සාධකයකි. සමනලුන් නැති පරිසරයක් අන් සතුන්ට හිතකර පරිසරයක් නොවේ. සමනලුන් ගැවසෙන පරිසරයක මී මැස්සන්, කුරුල්ලන් වැනි සතුන්ට ද කෙම් බිමකි. සමනලයා යනු පරිසරයක පොහොසත් බව මනින සාධකයකි. සමනලුන් පරිසරයේ නැත්නම් එය හරිත කාන්තරීකරණයට පත් වීමේ පෙරනිමිත්තකි. පරිසරයේ ශාක විවිධත්වය වැඩි නම් සමනල විවිධත්වය වැඩිය. සමනල විවිධත්වය වැඩි නම් සත්ව විවිධත්වය වැඩිවේ. ආහාර දාමවල සවිමත් බව වැඩි කරන සමනලයා රැක ගත යුතු වටිනා ජීවියෙකි. එපමණක් නොව මේ සොබා දහම වායු දර්ශකය මැනීමට අපට දී ඇති දායාදයකි. දූෂිත වායුව ඇති තැනක සමනලුන්ට ජීවත් විය නොහැකිය. සමනලුන් සිටිනවා නම් එතතැන ඇත්තේ පිරිසුදු වාතයය.

වර්තමානයේ අපේ වැඩි දෙනකුගේ ගෙවතු වඩාත්ම පරිසරයට හානි කරන බිම් කඩක් වී අවසානය. බොහෝ දෙනා කරන්නේ ලෝකයේම තියෙන ආක්‍රමණශීලි ශාක ගෙවත්තේ වවා පරිසර දූෂණය දෙගුණ තෙගුණ කිරීමය. සීනියස්, දාස් වැනි ශාකවල තැන ආක්‍රමණශීලී ශාක විසින් අත්පත් කරගෙන අවසනය. ඒ ගෙහිමියන්ගේම වරදිනි. ග්‍රයිෆොසෙට් කෘමි නාශකය බොහෝදෙනා ගෙවතු වගාවලදී භාවිත කරන අතර එයද සමනලුන්ගේ මාරයෙකි. පසුගිය රජය කාලයේ ග්‍රයිෆොසෙට් තහනම් කළ අතර ඒ කාලයේදී කැපී පෙනෙන ලෙස සමනල ගහනය ඉහළ ගොස් තිබිණි. කහ සමනලුන් දැකීමෙන් උන්ගේ සුන්දරත්වය අත්විඳිමින් සිටින ජනතාවට ගෙඋයන කුඩා සමනල උයනක් කිරීමෙන් ඉදිරි පරපුරටත් මේ සුන්දර උරුමය දැක ගැනීමේ වාසනාව උදාකර දිය හැකිය.

තොරතුරු සහය - පරිසර විද්‍යාඥ, සමනලයන් පිළිබඳ විශේෂඥ රාජික ගමගේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ කුරුලු විද්‍යා කවයේ පාසල් පරිසර වැඩසටහන් උපදේශක අරුණ පද්මපෙරුම

•සටහන - චම්පිකා දීපානි රණසිංහ

 

More News..