දැල්පන්දු ලෝක කුසලාන වරම අද තරග ප්‍රතිඵලය මත
14 August 2026
දැල්පන්දු ලෝක කුසලාන වරම අද තරග ප්‍රතිඵලය මත
14 August 2026
ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය අද (14 වැනිදා) හොංකොං හිදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරග බලාපොරොත්තු සමගින් සිංගප්පූරුව සමග තරග කිරීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා පිල දැල්පන්දු ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වීම විශේෂත්වයකි.
කුසලාන අදියරෙහි ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් හිමිකරගත් සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර තරගයේ ජයග්‍රාහකයා මෙන්ම ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි මැලේසියාව සහ සිව්වැනි ස්ථානයට පත් වූ හොංකොං කණ්ඩායම් අතර අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයා අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර එම කණ්ඩායම් දෙකට එළැඹෙන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලාන සඳහා ආසියාවෙන් සුදුසුකම් හිමි වේ. කුසලාන අදියරෙන්ම තරග කළ මාලදිවයින සහ ඉන්දියාව 5 වැනි ස්ථානය සඳහා තරග වදිනු ඇත.
අවසන් වරට පැවැති ආසියානු දැල්පන්දු තරගාවලි ත්‍රිත්වය වන 2018, 2020 සහ 2024 වසරවල අවසන් මහා තරග ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පැවැත්වුණි. ඒ අතරින් 2018 සහ 2020 ශ්‍රී ලංකාව ජය ලබද්දී, 2024 වසරේ ජය සිංගප්පූරුව සතු විය. එමෙන්ම මෙවර තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තරගයෙන් ලකුණු 62-51ක් ලෙස සිංගප්පූරුව ජය ලැබීය.
අද ශ්‍රී ලංකාවේ තරගය මෙරට වේලාවෙන් පස්වරු 2ටත්, අනෙක් අවසන් පූර්ව තරගය පස්වරු 4ටත් පැවැත්වීමට නියමිතය.

