ශ්රී ලංකාවේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක්
30 October 2026
ශ්රී ලංකාවේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක්
30 October 2026
ශ්රී ලංකාව තුළ වාර්ෂිකව පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ අලුතින් හඳුනාගන්නා අතර, දිනකට වාර්තා වන නව රෝගීන් සංඛ්යාව 15ක් සහ දිනකට මරණ 3ක් සිදුවන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්ය වෛද්ය කාංචනා විජේසිංහ මහත්මිය පැවසීය.
පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් සමාජයේ පැවතිය යුතු දැනුවත්භාවය පිළිබඳව අද (30) දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්ය වෛද්ය කාංචනා විජේසිංහ මහත්මිය මේ බව පැවසීය.
කාන්තාවක් වීමම පියයුරු පිළිකාවට ගොදුරු වීමට ඇති ප්රධාන සාධකයක් වන අතර, වයසට යාමත් සමඟ මෙම අවදානම වැඩි වන අතර මේවා වෙනස් කළ නොහැකි අවදානම් තත්ත්වයන් වුවද, වෙනස් කර ගත හැකි අවදානම් සාධක ලෙස ස්ථුලතාවය, අධික තරබාරුව, ව්යායම නොකිරීම, දුම්පානය සහ රසායනික ද්රව්ය සහිත ආහාර භාවිතය යන කරුණු පිළිකා ප්රවණතාව ඉහළ නැංවීමට බලපාන බව වෛද්යවරිය සඳහන් කළාය.
මේ වන විට සමාජය තුළ මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවද ඇය කියා සිටියාය.
ප්රධාන රෝග ලක්ෂණ
* පියයුරෙහි ගැටිත්තක් අහු වීම (කෙසේ වෙතත්, ඉන් 99%ක්ම පිළිකා නොවන ගැටිති වේ).
* කිහිලි ප්රදේශයේ ගැටිති ඇති වීම.
* පියයුරු ප්රමාණයේ වෙනස්කම් සිදු වීම.
* සමේ ඉදිමීමක් වැනි වෙනස්කම් හෝ සම ඇතුළට ඇදිලා තිබීම.
* පියයුරින් ලේ සහිත ශ්රාවයක් පිටවීම.
මේ අතර, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ශල්ය වෛද්ය නදින්ද මුණසිංහ මහතා පෙන්වා දුන්නේ ලංකාවේ කාන්තාවන් බොහෝදුරට දැනුවත් වුවද, සමාජයේ පවතින දුර්මත සහ බිය නිසා ප්රතිකාර සඳහා යොමුවීමට පැකිළෙන බවයි.
“සමාජයේ තියෙන බය සහ දුර්මත හින්ද ප්රතිකාරවලට යොමු වෙන්න බයයි. කොණ්ඩෙ යයි කියලා, ශල්යකර්මවලට ගියාම පියයුරු අහිමි වෙයි කියලා, කාන්තාවකගේ තියෙන ලක්ෂණ නැතිවෙයි කියන බය, ඊළඟට මේක නැවත නැවත පැතිරෙයි කියලා දුර්මත තියෙනවා සමාජයේ. ඒ වගේම පරීක්ෂණවලින් තහවුරු නොකළ ක්රමවලට ඇතැම් අය යනවා. මේ බය නිසා ඇතැම් කාන්තාවන් ප්රමාද වී ප්රතිකාර සඳහා පැමිණෙන අතර, එවිට රෝගය සිරුර පුරා පැතිරී තිබිය හැක,” යැයි ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත්, කලින්ම වෛද්යවරුන් වෙත යොමුවීම තුළින් මෙම රෝගය සාර්ථකව පාලනය කරගත හැකි බව විශේෂඥයින් අවධාරණය කර සිටිති.

