කඳුළු ගෑස් ඉතිරියි - ගෞරවය විපක්ෂයට
04 October 2026
කඳුළු ගෑස් ඉතිරියි - ගෞරවය විපක්ෂයට
04 October 2026
දෙවසරක් සමරමින් ආණ්ඩුව පවත්වන ජනරැලිවලදී ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ පවතින බව තේරුම් කිරීම සඳහා යොදා ගත්තේ අපූරු උපමාවකි.
‘‘මේ ගෙවුණ අවුරුදු දෙක ජනතාවට කඳුළු ගෑස් ගහපු නැති අවුරුදු දෙකක්.’’
ආණ්ඩුවේ ප්‍රධානීන් කියූ දෙයක් වුවද එය නම් බොරුවක් හැටියට භාරනොගත යුත්තකි. පොලිසියද තමන් සතු කඳුළු ගෑස් කල් ඉකුත් වී තිබෙන බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් කළේය.
කලට වේලාවට මැතිවරණ පැවැත්වීම, මාධ්‍ය නිදහස, විපක්ෂයට කතා කරන්නට උද්ඝෝෂණ කරන්නට අදහස් පළ කරන්නට තිබෙන අයිතිය අනුව ප්‍රජාතන්ත්‍රවාදය මනිනවාට වඩා පොලිස් ගබඩාවේ ඉතිරි වී තිබෙන කඳුළුගෑස් තොගය බලා කරන මේ විග්‍රහය අපූරු එකකි. ‘හමුදාවේ කාලතුවක්කු උණ්ඩ ඉතිරිව තිබීමෙන් රට දැහැමෙන් සෙමෙන් පවතිනවා’ කියනවා වාගේ වැඩකි.
කෙසේ වෙතත් කඳුළු ගෑස්, රබර් උණ්ඩ ඉතිරි වෙන තරමටම රටේ ප්‍රජාතන්ත්‍රවාදය පවතී නම් එහි ගෞරවය ගෙඩිය පිටින් ආණ්ඩුවටම ගැනීමට නොහැකිය. එහි විශාලම කොටස හිමිකර ගත යුත්තේ විපක්ෂ නායකතුමා ප්‍රධාන විපක්ෂයට බව ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රකාශ කළ හැකිය.
අප එසේ කියන්නේ මේ කාරණා නිසාය.
ජනතා විමුක්ති පෙරමුණ පිහිටවූයේම අධිරාජ්‍යවාදී උවමනාව පරාද කිරීමටය. 1965 දී පක්ෂය පිහිට වූ අලුතම එවක බලයේ සිටි අගමැති ඩඩ්ලි ඡන්දෙ පරාද වුණත් ආණ්ඩුව භාර දී ගෙදර යන්නේ නැති තැනට යැංකි කුමන්ත්‍රණයක යෙදී ඉන්නා බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු විරෝධී වැඩ පටන් ගත්තේය. එයින් පසුව 1970 කොමියුනිස්ට්, සමසමාජ ආදී වමේ පක්ෂ සමග එකතුව සිරිමාවෝ සමගි පෙරමුණ ආණ්ඩුව පිහිට වන කාලය වන විටත් ආයුධ සන්නද්ධ කැරැල්ලක් සඳහා සූදානම්ය.
‘‘අපෙන් අහනවා කවදාද විප්ලවය පටන් ගන්නේ කියලා. අපි කියනවා කවදාද උඹලා මර්දනය පටන් ගන්නේ. එදාට විප්ලවය ආරම්භ වෙයි කියලා’’ යනුවෙන් 71 මාර්තුවේ හයිඩ්පාක් පිටියේ පැවති රැස්වීමකදී රෝහණ විජේවීර කළ ප්‍රකාශයක් සමගින් 1971 අප්‍රේල් 05 දිවයින පුරා පොලිසිවලට පහර දී තරුණ කැරැල්ල ආරම්භ කෙරිණ. එය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුකූල වූවක් නොවිය හැකිය. එහෙත් උගතුන්ගේ රැකියා වියුක්තිය, ගැමි ගොවීන්ගේ ඉඩම් හිඟය, කුල අසාධාරණකම් ආදිය කැරැල්ලට හේතු වූ බව කැරැල්ලෙන් පසු ඒ ගැන සොයා බැලීමට පත් කළ තරුණ අසහනය ගැන කොමිසමත් පිළිගැනීමෙන් පෙනෙන්නේ ආරම්භක අවධියේ පටන් විපක්ෂයක කාර්යභාරයද වැරදි පාරේ යමින් වුවද ඔවුන් ඉටුකළ බවය.
ජේ.ආර්. පාලන බලය ගෙන වසරක් තුළ විපක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කර අසූවේ ජූලි වර්ජනය කළ කම්කරුවන් 40,000 ක් ගෙදර යවා වෘත්තීය සංගම් කොඳු බිඳ දමා අදට වඩා බොහෝ දරුණු මර්දනයක යෙදී වැඩ පටන් ගත්තේය. 83 කළු ජූලියේ වරද සමසමාජ, කොමියුනිස්ට් නායකයන් පිට පටවා ඔවුන් සිරබාරයට ගෙන ජවිපෙ ඇතුළු පක්ෂ ද තහනම් කළේය. ජනමත විචාරණ මගින් ඡන්ද කල් දැමූ ජේ.ආර්. ව්‍යවස්ථාවට සංශෝධන දාහතක් ගෙනා අතර ඒවා සියල්ලම විපක්ෂයේ විරෝධය මැද ජේ.ආර්.ගේ ආණ්ඩුවට බලය ගන්නටම ගෙනා ඒවා විය. ජේ.ආර්.ගේ කෲර මර්දනයන්ට බයේ සෙස්සන් මූණ හංගා ගනිද්දී පපුව දුන්නේ ජවිපෙය.
එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ විට ජනතාව කියුවේ හොර ඡන්ද දමා මන්ත්‍රින් පත්කරගත්, මර්දනකාරී අණ පනත් සම්මත කරගන්නා කිසිදා පරාද කර ගත නොහැකි ආණ්ඩුවට හොඳ වැඩේ කියාය. සටන් විරාම ගිවිසුමක් මගින් ඊළමකට පාර කැපෙන්නට යන රට එක්සේසත් කරන සටන් පාඨය බලගන්වන්නට ඕනෑ නායකයා වූ මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට 2005 දී ලොකුම වැඩ කොටස කළේ ජවිපෙය. ජවිපෙ පිහිටෙන් බලයට ආ මහින්ද 2009 මැයි 18 යුද්ධය නිමා වූ පුවත උතුරෙන් ආරංචි වූ මොහොතේම එවක ජ.වි.පෙ. නායකව සිටි සෝමවංශ අමරසිංහට කතා කර ‘‘සෝමේ ඔයගොල්ලෝ භාරදීපු වැඩේ මම කළා. යුද්දේ ඉවරයි.’’ කියා කියුවේ එහෙයිනි.
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට පෞද්ගලික ආයෝජන ගෙන ඒම, අධ්‍යාපන නවීකරණය ආදී ප්‍රතිසංස්කරණ සඳහා රනිල් වික්‍රමසිංහ 1980 දශකයේ ගෙනා ධවල පත්‍රිකාවටද, වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිවද ආදි සියල්ලේදී විපක්ෂයේ කාර්ය කළේ ජ.වි.පෙ.ය. මේවායේ යුක්තියුක්තභාවය වෙන එකකි. වී කිලෝවට ගොවියාට ඉහළ මිලක් ගැනීමට ගොවීන් ලවා කෘෂිකර්ම ඇමැතිලාගේ පිච්චූ පඹයන් ගණන පුච්චන්නට සමත් නාමල් කරුණාරත්න කෙනෙක් හදා ගොවි බිමට යවන්නට විපක්ෂයට අද බැරිය. මධ්‍යම අධිවේගී මාර්ගය හදනවිට පඬුකරඳ ගහක් ජාතියේ උත්තම ශාකය බවට පත්කරවා භික්ෂූන් ලවා ඊට සිවුරු ඔතා මහණ කරවාලූ, ආණ්ඩුවේ වැඩ හබක් කරවන්නට සමත් දේවානි කෙනෙක් විපක්ෂයට නැත.
ඉඳින් කදුළු ගෑස් ඉතුරු කිරීමේ ගෞරවය ගෞරව බහුමානයෙන් විපක්ෂයට හිමිවිය යුතුය. එසේම අතීතයේ තිබුණු ආණ්ඩු වැඩ කළේ ගෙදර යන්න සිතාගෙන නොවේ.
මහ පරිමාණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් එෆ්.සී.අයි.ඩී.ය පිහිටවූයේ එදා රනිල්ය. අල්ලස් දූෂණ විමර්ශන කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනත් එය සම්මත කරවා අල්ලස් කොමිසම පිහිටවූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පළමු වරට මහ පොත් ගෙඩියක් තනියට අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණේ ඒ ඔහුම පැනවූ නීතිරීතිවලට අනුවය.
අල්ලස් දූෂණ පනත අතීතයට බලපාන පරිදි කෙටුම්පත් කළේ විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාය. පාතාලයන් නිදහස් කරගැනීමට කෝටි ගණනක් ගත් බවට චෝදනා කර ඔහුගේ පුත්‍රයාම රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණේ ඒ පනත යටතේය. අද අල්ලස් දූෂණ වංචා විමර්ශන කොමිසම නීතිය ක්‍රියාත්මක කරවා රිමාන්ඩ් බන්ධනාගාරගතවන සියලුම හිටපු මැති ඇමැතිවරු එදා අතීතයටත් බලපාන පරිදි පැනවූ පනත්වලට අත ඉස්සුවෝය. අද මාංචුලන්නේ ඒ අත්වලටය. සිංහලේ අන්තිම රජ්ජුරුවන් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ බලයෙන් පහකොට වෙල්ලෝරයට යැවීමට කොළඹ ගෙනා දා රජු හා සමීපව කතා කළේ හෙන්රි මාර්ෂල් නම් වෛද්‍යවරයාය. රජු බලයේ සිටිද්දී දුන් කෲර දඬුවම් ගැන ඇසූ කල ඔහු මෙසේ කීවේලු.
‘‘මම මගේ රාජ්‍ය ශාස්ත්‍ර අනුව පාලනය කළෙමි.’’ තවදුරටත් එය පැහැදිලි කළොත් නීති හැදුවේ මම ද? මා කළේ තිබුණු නීති ක්‍රියාවේ යෙදවීමයි.
දැන් කෙරෙන්නේද එයමය. එහෙත් දඬුවම් මනුෂ්‍ය සංහතිය පාලනය කරතැයි විශ්වාස කරන බ්‍රාහ්මන නීතියක් වන මනු නීතිය ක්‍රියාවේ යොදවන්නන්ට වෙන දේ ගැන කියන්නට තවම කල් වැඩිය.

