brand logo
logo
පුරාවස්තු රැක ගැනීමට මහජන පවුරක් !

පුරාවස්තු රැක ගැනීමට මහජන පවුරක් !

06 December 2024

පුරාවස්තු විනාශ කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අනුව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව එතරම් උනන්දුවක් නොදක්වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබුණි. පුරාවස්තු විනාශය වැළැක්වීම සඳහා පැය විසි හතරේම ක්‍රියාත්මක වන විශේෂ පොලිස් ඒකකයක් පොලිස් අපරාධ කොට්ඨාසය යටතේ ස්ථාපිත කළ ද පුරාවස්තු රැක ගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු ආරක්ෂාවක් සැපයීමට හෝ ක්‍රියාමාර්ග ගැනීමට එකී ඒකකයද සමත් නොවූ බව එය පිහිටවූ කාලයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත උරුමයන්ට එරෙහිව අපරාධ වර්ධනය වීමෙන් පැහැදිලි විය.


2022 වසරේ ජාතික විගණන වාර්තාව අනුව 2019 සිට 2021 දක්වා වසර තුනක කාල සීමාවේදී පමණක් පුරාවස්තු 777ක් විනාස කර හෝ සොරකම් කර තිබේ. 2021 වසරේ පුරාවස්තු 383ක්, 2020 වසරේ 121ක්, 2019 වසරේ 273ක්ද විනාශ කර හෝ සොරකම් කර තිබේ. 2019 පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත උරුමයන්ට හානි කිරීම් 203ක් සම්බන්ධයෙන් පුද්ගලයන් 565කට චෝදනා කර තිබේ. මේ කරුණු කෙරෙහි අවධානය යොමු කරනකල වුවද පෙනෙන්නේ පුරාවිද්‍යාත්මක උරුමයන්ට එරෙහිව වර්ධනය වී තිබෙන අපරාධවල තරමය.


1940 දී සම්මත කරගත් පුරාවිද්‍යා පනත 1998 වසරේදී සංශෝධනය කෙරිණ. එසේම 2005 වසරේ දී ද සමහර සංශෝධන එක් කර තිබේ. මෙකී සංශෝධන වලින් දඩ මුදල් ඉහළ ගියද පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත උරුමයන් රැක ගැනීමට සැලකිය යුතු බලපෑමක් කර නොමැති බව පෙනේ. සාමාන්‍යයෙන් මේ රටේ අණ පනත් අනුව පුරාවිද්‍යා පනත බලගතු නීති සහිත එකකි. එම පනත අනුව පෞද්ගලික ඉඩමකින් පුරාවස්තුවක් හමු වුවද එය සන්තක කර ගැනීමට එම ඉඩම හිමි පුද්ගලයාට අයිතියක් නැත. ඔහු සන්තකයේ තබාගන්නේ නම් එය සිරේ දැමිය හැකි වරදකි. මෙවැනි වගන්ති පුරාවිද්‍යා පනතෙහි ඇතුළත් වුවද පුරාවිද්‍යාත්මක උරුමයන් රැක ගැනීමට නම් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුය. මෙවැනි වගන්ති තිබුණද ඒවා අතරින් රිංගා ගොස් අපරාධ කරන උදවිය ඕනෑ තරම් සිටිති.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1890 වසරේ ආරම්භ කළ ද ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට වසර එකසිය දහ අටක් ගතවිය. එසේම 1890 සිට 2018 දක්වා කාලයේදී දිස්ත්‍රික්ක 25ටම ගැසට් කර තිබුණේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක 2712ක් පමණි. වෙන්කළ පුරාවිද්‍යාත්මක වශයෙන් අවධානයට ලක් වූ මහජන පරිහරණයට තහනම් ඉඩම් ප්‍රමාණය අක්කර 227ක් පමණි. ප්‍රකාශිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රමාණය 174කි.


පසුගිය කාලයේ රටේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙන්කළ ප්‍රතිපාදන ද ඉතා සීමා සහිත විය. කැණීම් සහ සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ සහ රසායන ද්‍රව්‍යය සපයා ගැනීමේ අර්බුදයක් ඇති විය. එපමණක් නොව සේවකයන්ට අති කාල ගෙවීමේ ගැටලුද උද්ගත විය. මේ අනුව අපට පෙනෙන්නේ පුරාවිද්‍යාත්මක උරුමය රැක ගැනීමට අප රටක් හැටියට දක්වා තිබෙන උනන්දුව කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවය.


පුරාවිද්‍යා ප්‍රධානීන් පොලිස් දෙපාර්තමේන්තුවට චෝදනා කළද එම දෙපාර්තමේන්තුවටද පුරාවිද්‍යා උරුමයන් රැක ගැනීමට නිසි වැඩපිළිවෙළක් තිබේද යන ගැටලුව අපට ඇතිවෙයි. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් හඳුනාගෙන ඒ වටා කම්බි වැටවල් ගැසීමෙන් පමණක් පුරාවිද්‍යා උරුමය ආරක්ෂා වන්නේ නැත. සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පත්වන ඉහළ නිලධාරීන්ට ද මේ උරුමයන් රැක ගැනීම සඳහා ඉතා ප්‍රායෝගික වැඩපිළිවෙළවල් සකස් කළ හැකිය. කාර්යාලවල පුටු රත් කිරීමෙන් පමණක් පුරාවිද්‍යාව ආරක්ෂා වන්නේ නැත. පුරාවිද්‍යාව යනු මහ පොළොවේ විද්‍යාවකි.


අප දකින ආකාරයට මහජනතාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉතා දුරස්ය. ඔවුන් දැනුම්වත් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වටා මහජන පවුරක් ගොඩනැගුවහොත් බොහෝ ගැටලු විසඳාගත හැකිය. ඕනෑම රටක උරුමය රැකෙන්නේ එය රැක ගැනීම සඳහා මහජනතාවට වුවමනාවක් තිබෙනවා නම් පමණි. එසේ නැතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා ආරක්ෂකයන් හෝ කම්කරුවන් වැඩකිරීමෙන් පමණක් මේ ගැටලු විසඳාගත නොහැකිය. පිරිස් බලය පිළිබඳ ගැටලු තිබුණද ඒවා සඳහා ද විසඳුම් රාජ්‍ය යාන්ත්‍රණය තුළින්ම සපයා ගත හැකිය. අතිරික්ත පිරිස් සහිත රාජ්‍ය ආයතන වලින් ඒ සඳහා සේවකයන් අනුයුක්ත කරගත හැකිය. විශේෂයෙන් ඉහත සඳහන් කළ ආකාරයට යම් ප්‍රදේශයක තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්මාරකයක් රැක ගැනීම ඒ ප්‍රදේශයටත් රටටත් වැදගත් වන ආකාරය මහජනතාවට පැහැදිලි කළ යුතුය. අප හොඳින්ම දන්නා පරිදි සමහර ප්‍රදේශවල තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන පිළිබඳ මහජනතාව කිසිවක් දන්නේ නැත.


2021 වසරේදී ඉදිරිපත් වූ යෝජනාවක් වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගතයුතු බවය. එම යෝජනාවෙහිද දොසක් නැත. එහෙත් මහජනතාව ආරක්ෂක පවුරක් සේ ගොඩ නැගීම හොඳම විසඳුම සේ සඳහන් කළ යුතුය.


පුරා වස්තුවකට ආදේශකයක් නැත. එවැන්නක් විනාශ කළහොත් විනාශ කළාමය. කුඩා පුරාවස්තුවක් රටේ ඉතිහාසයේ පරිච්ඡේද කිහිපයක කතාවක් විය හැකිය. ඒනිසා ආණ්ඩුවත් මහජනතාවත් අපේ පුරාවිද්‍යා උරුමය රැක ගැනීමට යොමු විය යුතුය. පාසල්, දහම් පාසල් සහ සරසවි මට්ටමින් ඒ සඳහා අලුත් පරපුර පෙළගැස්විය යුතුය.

 

More News..