SLIIT ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු ශිෂ්‍ය අනුහුරු වැඩසටහනක් හඳුන්වාදීමට සැරසෙයි
3 years ago
Share on
සිසුන්ගේත්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේත් සෞඛ්‍යාරක්ෂාව සිය ප්‍රමුඛතාව ලෙස සලකමින්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ශිෂ්‍ය අනුහුරු වැඩසටහනක් (virtual orientation programme) සංවිධානය කිරීමට SLIIT උසස් අධ්‍යාපන ආයතනය සැලසුම් සකස් කරමින් සිටී. SLIIT සිය ශිෂ්‍ය අනුහුරු වැඩසටහනක් ඩිජිටල් මාදිලියෙන් ඉදිරිපත් කරන පළමු වතාව මෙය වන අතර, ඒ සමග නවක සිසුන්ට තම උසස් අධ්‍යාපන ජීවිතය ආරම්භයේදීම අතිශය නැවුම් අත්දැකීමකට මුහුණ දීමේ අවස්ථාව හිමිවනු ඇත.
SLIIT ශිෂ්‍ය අනුහුරු වැඩසටහන යනු වසර 3-4ක් දක්වා දිවෙන සිසුන්ගේ උසස් අධ්‍යාපන ජීවිතයට අවශ්‍ය ශක්තිමත් පදනමක් ලබාදෙන, විවිධත්වයෙන් අනූන වටිනා වැඩසටහනකි. මෙහිදී සුහද අයුරින් පිළිගනු ලබන නවක සිසුන්ව කණ්ඩායම් කිහිපයකට මිශ්‍ර කෙරේ. එම ක්‍රමවේදය යටතේ විවිධ පීඨවල සිසුන් අතර සබඳතා වර්ධනය වී අවසානයේදී අවබෝධයත්, එකමුතුකමත් සහිත වාතාවරණයක් ගොඩනැගෙන බව අතීත අත්දැකීම් ඔස්සේ තහවුරු වී තිබේ.
කොවිඩ් වසංගත කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ දේශන පවත්වමින් විශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමටත්, ඉහළ ශිෂ්‍ය සහභාගීත්වයක් ළඟා කරගැනීමටත් SLIIT සමත්විය. මෙම ‘නව සාමාන්‍ය’ තත්ත්වයට හැඩගැසෙමින් මෙසේ පළමු වරට ඩිජිටල් තාක්ෂණය හරහා ශිෂ්‍ය අනුහුරු වැඩසටහනක් පැවැත්වෙන අතර, වසරේ ඉදිරි කාලය තුළදී පවා ශිෂ්‍ය අනුහුරු වැඩසටහන් දෙමුහුන් ක්‍රමයට (භෞතික හා ඩිජිටල් යන දෙයාකාරයටම) පැවැත්වීමට සිදුවනු ඇත.