brand logo
logo
 'අධ්‍යාපන සභාව' පිහිටුවීමේ පනත් කෙටුම්පත වසරක් ඇතුළත - අගමැති හරිනි

'අධ්‍යාපන සභාව' පිහිටුවීමේ පනත් කෙටුම්පත වසරක් ඇතුළත - අගමැති හරිනි

07 October 2026


මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිකරණය, වෘත්තීය සංවර්ධනය සහ ගුරු වෘත්තියේ අභිමානය තහවුරු කිරීමේ අරමුණින් "අධ්‍යාපන සභාව" පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු වසරක කාලයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය අද (07) පාර්ලිමේන්තුවේදි මේ බව සඳහන් කළාය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,


අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම්තුමා පත් කරපු විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ පදනම් කරගෙන තමයි මේ අධ්‍යාපන සභාව පිහිටුවන්න හදන්නේ. ඒකට අදාළ පනත් කෙටුම්පත සකස් කරන්න 2026 අගෝස්තු 25 වෙනිදා කැබිනට් අනුමැතියත් හම්බවුණා. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටයි දැනට තියෙන නීතිරීතිවලටයි ගැලපෙන විදිහට මේ පනත් කෙටුම්පත හදන්න අදාළ වාර්තාව නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කරන්න දැන් කටයුතු කරගෙන යනවා.


මේ යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවන එකෙන් ප්‍රධාන අරමුණු ගොඩක් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙනවා. පෙර පාසල්, ප්‍රාථමික සහ ද්විතීයික මට්ටම්වල ඉන්න අධ්‍යාපන වෘත්තිකයන්ගේ වෘත්තීය සංවර්ධනය, ප්‍රමිතිකරණය, ලියාපදිංචිය වගේම ඒ අයව නියාමනයයි අධීක්ෂණයයි කරන්නත් මේකෙන් පියවර ගන්නවා. ඒ වගේම වෘත්තීය සංවර්ධනය සහ තත්ත්ව සහතිකය ගැන අධ්‍යාපන ඇමැතිතුමාට උපදෙස් දෙන එකත් මෙහි තවත් කාර්යයක්. හැමෝටම ද්විභාෂා අධ්‍යාපන අවස්ථා ලබා දෙන්න හොඳ මට්ටමේ ද්විභාෂා අධ්‍යාපනඥයෝ සහ ජාත්‍යන්තරව පිළිගත්ත අධ්‍යාපන වෘත්තිකයෝ බිහි කරන්නත් මේකෙන් අරමුණු කරනවා. ඊට අමතරව බඳවා ගැනීම්, උසස් වීම්, වෘත්තීය සංවර්ධන වැඩසටහන්වලට අදාළ සුදුසුකම් ප්‍රමිතිකරණය කිරීම, අධ්‍යාපන වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් සහ ගැටලුවලදී රජයයි ඒ අයයි අතර මැදිහත්කරුවෙක් විදිහට කටයුතු කිරීම, සහ හැමෝටම සාධාරණ, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගන්න තියෙන අයිතිය තහවුරු කිරීමත් මෙයින් අපේක්ෂා කරනවා.


මේ ප්‍රතිසංස්කරණවල තියෙන විශේෂම දේ තමයි ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන එක. නිපුණතා ප්‍රමිතීන් සහ තක්සේරු කිරීම් මත පදනම් වෙලා සුදුසුකම් තියෙන අයට විතරයි මේ බලපත්‍රය හම්බවෙන්නේ. ඒ හරහා අනිත් වරලත් වෘත්තිකයන්ට තියෙනවා වගේ ලොකු වෘත්තීය අභිමානයක් ගුරු වෘත්තියටත් ලබා දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගුරුවරුන්ට තමන්ගේ සේවය කාර්යක්ෂමව කරගෙන යන්න අවශ්‍ය වෙන පාසල් සහ පන්ති කාමර මට්ටමේ යටිතල පහසුකම් දියුණු කරන්නත් පියවර ගන්නවා.


කොහොම වුණත්, මේ අධ්‍යාපන සභාව පිහිටුවීමෙන් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීමක්වත්, ඒවයේ පාඨමාලාවල ප්‍රමිතිය බලන එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මේක සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය වැඩි කරන්න විතරක් ගෙනාපු වැඩපිළිවෙළක්." 

 

More News..