මිරිස්සෙන් ඇල්ලූ අයිස් තොගයේ දළ වීථී වටිනාකම බිලියන 4ක්
29 November 2026
මිරිස්සෙන් ඇල්ලූ අයිස් තොගයේ දළ වීථී වටිනාකම බිලියන 4ක්
29 November 2026
මාතර, මිරිස්ස – තල්අරඹ මුහුදු සහ වෙරළ තීරය ආශ්‍රිතව ඊයේ (28) සිදු කළ මෙහෙයුමකදී සොයා ගත් උර 17ක අසුරා තිබූ පාර්සල් 340 තුළ 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 346කුත් ග්‍රෑම් 184කුත් අඩංගු බව අද (29) තහවුරු වී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ වැඩිදුර පරීක්ෂාවලදී මෙම ප්‍රමාණය නිශ්චිතව සනාථ කරගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව ක්‍රියාත්මක කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් බිලියන 4ක් පමණ වන බව වාර්තා වේ
මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාව සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට පැමිණි බවට සැක කෙරෙන වෑන් රථ දෙකක් සමඟ සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ මත්ද්‍රව්‍ය තොගය, යාත්‍රාව, වෑන් රථ සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
මේ අතර, අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ද අද එක්වූහ.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් බිලියන 120කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බවයි.
දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මෙහෙයුම් තීව්ර කර ඇති බැවින් රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බව ද ඔහු අවධාරණය කළේය.
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ දත්ත ද අමාත්‍යවරයා එහිදී ඉදිරිපත් කළේය.
අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින්: 331,130
ප්‍රධාන ජාවාරම්කරුවන්: 1,063
ආධාර හා අනුබල දෙන්නන්: 5,749
හෙරෝයින් මත්ද්‍රව්‍ය: කිලෝග්‍රෑම් 2,987
අයිස් මත්ද්‍රව්‍ය: කිලෝග්‍රෑම් 3,760
කංසා: කිලෝග්‍රෑම් 11,341
කොකේන්: කිලෝග්‍රෑම් 303
කූෂ් මත්ද්‍රව්‍ය: කිලෝග්‍රෑම් 300කට ආසන්න
මෙහෙයුම සාර්ථක කර ගැනීමට දායක වූ සියලු පාර්ශ්ව වෙත ජනාධිපතිවරයා වෙනුවෙන් ස්තුතිය පිරිනැමූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සඳහා 1818 හෝ 1997 යන ක්ෂණික දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව සමාජය දැනුවත් කිරීමේදී මාධ්‍ය ඉටු කරන කාර්යභාරය ද ඔහු ඇගයීමට ලක් කළේය.


