Best News Website award
brand logo
logo
රතු නිවේදන නිකුත් කළ 43ක් හැංගිලා ඉන්න රටවල් හොයාගත්තා - අමාත්‍ය ආනන්ද විජේපාල

රතු නිවේදන නිකුත් කළ 43ක් හැංගිලා ඉන්න රටවල් හොයාගත්තා - අමාත්‍ය ආනන්ද විජේපාල

28 November 2026

ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් 43 දෙනෙකු දැනට රැඳී සිටින රටවල් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර තිබේ.


අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම පුද්ගලයින් අතරින් 17 දෙනෙකු ඩුබායිහිද, 14 දෙනෙකු ඉන්දියාවේද, තිදෙනෙකු ජපානයේද රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.


ඉතිරි පුද්ගලයින් රටවල් නවයක රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


එමෙන්ම අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ මෙම සියලු දෙනා කඩිනමින් මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.


මේ අතර, පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 818 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.


එමෙන්ම, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන 233ක් සහ නිල් නිවේදන 92ක් නිකුත් කර ඇති බවද ඒ මහතා පැවසීය.


අමාත්‍යවරයා සඳහන් කළේ විදේශ රටවල සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 72 දෙනෙකු මේ වන විට මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදුකරමින් පවතින බවත් ය.

 

More News..